The-only-male-zebra-in-the-country-died-of-an-overdose

මෙරට සිටි එකම පිරිමි සීබ්‍රා සත්වයාට පශු වෛද්‍යවරුන් විසින් ඖෂධ අධි මාත්‍රාවක් ලබාදීම හේතුවෙන් පෙරේදා (13 වැනිදා) රාත්‍රි මියගොස් ඇතැයි ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ සේවකයෝ කියා සිටිති.

සත්ව හුවමාරු වැඩසටහනක් යටතේ මෙරටට ගෙන්වන ලද පිරිමි සීබ්‍රා සතුන් සිව් දෙනකු ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට අයත් හම්බන්තොට, රිදියගම සත්වෝද්‍යානයේ රඳවා සිටි අතර, වරින්වර එම සතුන් මිය යාම හේතුවෙන් ඉතිරිව සිටියේ එක් පිරිමි සත්වයකු පමණි.

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ ගැහැනු සතුන් දෙදෙනකු සිටි අතර, ප්‍රජනන කටයුතු සඳහා රිදියගම සෆාරි උද්‍යානයේ සිටි පිරිමි සත්වයා මීට දින හතරකට පමණ ඉහතදී දෙහිවලට රැගෙනවිත් තිබුණි. සත්වයාගේ විවිධ සංකූලතා හේතුවෙන් 13වැනිදා රාත්‍රි 7.30 ට පමණ මෙරට සිටි එකම පිරිමි සීබ්‍රා සත්වයා මිය ගියේය.


මෙම සත්වයා දෙහිවලට රැගෙන ඒමට පෙරදී සීබ්‍රා පිරිමි සත්වයාගේ පීඩනය අඩු කිරීම සඳහා රිදියගම සෆාරි උද්‍යානයයේ පශු වෛද්‍යවරයා විසින් ඖෂධ අධි මාත්‍රාවක් ලබාදී තිබෙන බවත්, මෙම මරණය සිදුවී ඇත්තේ පශු වෛද්‍යවරුන්ගේ නොසැලිකිලිමත්භාවය නිසා බවත් පවසමින් දෙහිවල ජාතික සත්වෝද්‍යානයයේ සේවකයින් සත්වෝද්‍යානය ඉදිරිපිටදී 14 වැනිදා දහවල් විරෝධතාවක නිරතවිය. ශ්‍රී ලංකා පොදුජන සත්වෝද්‍යාන දෙපාර්තමේන්තු සේවක සංගමයේ සභාපති ක්‍රිෂාන්ත ක්‍රිස්ටෝපර්ස් මෙහිදී කියා සිටියේ මෙරට සිටි එකම පිරිමි සීබ්‍රා සත්ත්වයාව පශු වෛද්‍යවරුන් විසින් මරාගත් බවය.


සීබ්‍රා සත්වයෙකු වසර 30 ක පමණ කාලයක් ජීවත්වන අතර, මෙම පිරිමි සත්ත්වයා මියයන විට වයස අවුරුදු අටකි. මෙම සීබ්‍රා සත්වයාගේ මරණය සම්බන්ධයෙන් සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති පාහියංගල ආනන්ද සාගර හිමියන් කියා සිටියේ දෙහිවල සත්වෝද්‍යානය තුළ දිගින් දිගටම සිදුවන මරණ ස්වාභාවිකද, නැතහොත් ඒවා ඝාතනද යන්න පිළිබඳ සැකයක් මතුවන බවය.