ස්වර්ණාභරණ වෙළෙඳසලක සේවකයන් වශයෙන් සිටිමින් වෙළෙඳසලේ තිබූ රුපියල් කෝටි 30ක රත්‍රන් සොරාගත් බව කියන මඩකළපුව කාත්තන්කුඩි ප්රදේශයේ පුද්ගලයන් දෙදෙනකු සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කළ බව කොළඹ අපරාධ කොට්ඨාසය කොළඹ අතිරේක මහේස්ත්රාත් පසාන් අමරසිංහ මහතා ඉදිරියේ ඊයේ (20) කරුණු වාර්තා කළේය.
‘මොඩර්න් ජුවලර්ස්“ හි සේවකයන්ව සිටිමින් මෙම සොරකම සිදුකර ඇත්තේ කපුරඩි පාර, කාත්තන්කුඩි, මඩකළපුව පදිංචි මොහොමඩ් සුබයියර් අහමඩ් සෆ්නි සහ ඒ. එල්. එම්. ෆිරිදවුස් නමැත්තන් බවට ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කළ බව කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.
කාත්න්කුඩි ප්රදේශයේ පදිංචි කොළඹ හෙට්ටිවීදියේ මොඩර්න් ජුවලර්ස් හි අධිපති මොහොම්මදු මොහිදීන් උමර් හසිම් යන අය කරන ලද පැමිණීල්ලකට අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කරනු ලැබ තිබුණේ කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇන්සලම් ද සිල්වා මහතා විසිනි.
තමන් වසර ගණනක සිට ස්වර්ණාභරණ වෙළෙදාම් කටයුතු සිදුකරන අතර කොළඹ හෙට්ටිවීදිය, මඩකළපුව සහ කාත්තන්කුඩි යන ප්රදේශවල ස්වර්ණාභරණ වෙළෙඳසල් තුනක් පවත්වාගෙන යනු ලබන බවත් රත්‍රන් මිලදී ගැනීම සහ විකිණීම තොග වශයෙන් මෙන්ම සිල්ලර වශයෙන් සිදුකරමින් සිටින බවත් පැමිණිල්ල සඳහන් කර ඇතැයි කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණ.
එම සාප්පු තුනේම වර්ෂ අවසානයේ ලාභයක් නොවී දිගින් දිගටම පාඩු සිදුවීම සම්බන්ධයෙන් විශේෂ විගණන වාර්තාවක් කැඳවූ බවත් එම වාර්තාවන්ට අනුව පරීක්ෂා කර බැලීමේ දී මෙම සේවකයන් දෙදෙනා වරින්වර වෙළෙදාම් සඳහා ලබාගත් රත්‍රන් සොරාගෙන ඇති බවට කරුණු හෙළිවී ඇති බවත් පැමිණිල්ල සඳහන් කර ඇතැයි කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
මෙම සේවකයන් දෙදෙනා සඳහා එක් අයකුට මසකට රුපියල් 50,000ක වැටුපක් ලබා දී ඇති අතර, ඔවුන් දෙදෙනා රුපියල් කෝටි ගණනින් දේපල මිලට ගෙන ඇති බවට අනාවරණය වීම හේතුවෙන් ඔවුන් පිළිබඳව සොයා බැලූ බව ද පැමිණිල්ල සඳහන් කර ඇතැයි කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.
පැමිණිල්ල සඳහන් කරන මෙම සේවකයන් දෙදෙනා මීට වසරකට පමණ අදාළ ආයතනයෙන් ඉවත්ව ගොස් ඇති බවට අනාවරණය වී ඇති බව ද කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දැනුම් දුන්නේය.
ඒ අනුව මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බව ද කොළඹ අපරාධ කොට්ඨාසයට අධිකරණයට කරුණු වාර්තා කර ඇත.
ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්රාත්වරයා සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසට කොළඹ අපරාධ කොට්ඨාසයට නියෝග කළේය.
(නිමන්ති රණසිංහ)
0 Comments