pothuhera-incident

පොතුහැර ප්‍රදේශයේ නිවසකට පැන කාන්තාවකට ලිංගික අතවර කළැයි අනාවරණය වූ පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනම් කිරීමට කුරුණෑගල කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා පියවර ගෙන තිබේ.



මෙලෙස වැඩ තහනමකට ලක්ව ඇත්තේ පොතුහැර පොලිසියටම අනුයුක්ත සැරයන්වරයකු බව පොලිසිය සඳහන් කරයි.

මෙම සැරයන්වරයා පොතුහැර දිග්ගල්වත්ත ප්‍රදේශයේ පදිංචි කාන්තාවක සමගින් සමීප වීමට අවස්ථා ගණනාවකදීම උත්සාහ දරා තිබේ. අදාළ කාන්තාවගේ සැමියා විදේශගතව සිටින අතර ඇය සිය දරු දෙදෙනා හා මව සමගින් නිවසේ ජීවත්ව සිට ඇත.

පසුගිය (07 වැනිදා) බීමතින් මෙම නිවසට ගිය පොලිස් සැරයන්වරයා ‍ නිවෙසට ඇතුළු වී ඇති බවත් පසුව නිවැසියන් අත්අඩංගුවට ගන්නා බවට බිය වද්දා කාන්තාව සිටි කාමරයටම ගොස් ඇය ලිංගික අතවරයට ලක්කර පලාගොස් ඇති බවත් පොලිසිය සඳහන් කරයි.

මෙම නිලධාරියා සම්බන්ධයෙන් වින්දිත කාන්තාව විසින් පොතුහැර පොලිසියට කළ පැමිණිල්ලකට අනුව ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙන අතර පසුව සැකකරු පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු පෙරේදා (19 වැනිදා) තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබිණී.මෙදිනට සැකකරු හදුනාගැනීමේ පෙරට්ටුවකටද යොමු කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණු අතර පෙරේදා පැවති නඩු විභාගයේදී පැමිණීලිකාරිය විසින් සැකකරු හඳුනාගෙන ඇත.

මේ අනුව සැකකරු යළිත් බන්ධනාගාර ගතකර තිබෙන අතර බන්ධනාගාර ගතවු එම නිලධාරියා සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක්ද ආරම්භ කරමින් කුරුණෑගල කොට්ඨාස බාර පොලිස් අධිකාරීවරයා විසින් එම නිලධාරියා වැඩ තහනමටද ලක්කර ඇත.

(එෆ්.අස්ලම්)