There-is-no-program-to-recruit-for-the-vacancies-in-the-public-service-exceeding-one-lakh

රාජ්‍ය සේවය තුළ පවතින පුරප්පාඩු ප්‍රමාණය මේ වන විට ලක්ෂය ඉක්මවා ගොස් ඇතත් පුරප්පාඩු සඳහා බඳවා ගැනීමේ කිසිදු වැඩපිළිවෙළක් නොමැති බව රාජ්‍ය, පළාත් වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.



සමහර ආයතනවල පවතින පුරප්පාඩු සඳහා ගෝඨභය රාජපක්ෂ මහතාගේ පාලන කාලයේදී බඳවා ගත් බහුකාර්ය සේවකයන් යොදවමින් සිටින බවද එම සංගමයේ ලේකම් අජිත් තිලකරත්න මහතා සඳහන් කළේය.

එහෙත් වෘත්තීය දැනුමක් සහිත සේවාවල පවතින පුරප්පාඩු සම්පූර්ණ කිරීමේ වැඩපිළිවෙළක් නොමැති බවත්, පවතින පුරප්පාඩු සැලකීමේදී ගුරු සේවයේ, දුම්රිය සහ තැපැල් සේවයේ හා වෛද්‍ය හා හෙද, පරිපුරක අතුරු වෛද්‍ය සෞඛ්‍ය කාර්ය මණ්ඩල සේවාවල කලමනාකරණ සේවයේ, අනධ්‍යයන සේවයේ විශාල පුරප්පාඩු ප්‍රමාණයක් ඇති වී තිබෙන බවත් හෙතෙම පවසා සිටියේය.



දැනට රාජ්‍ය සේවයේ සිටින පිරිස්වලට ජිවත්වීමට සරිලන වැටුපක් නොලැබීම නිසා ලක්ෂ 14 ක පමණ වන රාජ්‍ය සේවකයන්ගෙන් 75% කට වැඩි ප්‍රමාණයකට ජීවත් වීම සඳහා අරගලයක නිරතවීමට සිදුව තිබෙන බවත්, රාජ්‍ය සේවයේ අවම වැටුප් රුපියල් විසිහතර දහසක් බවත්, මීට අමතරව දීමනා වශයෙන් රුපියල් දාහත්දහස් අටසීයක මුදලක් හිමිවන බවත් ඒ මහතා සඳහන් කළේය.

සමස්ත රාජ්‍ය සේවකයන්ගෙන් ලක්ෂ පහකටම හිමිවන්නේ අවම වැටුප් බවත්, එම පිරිස්වල වැටුප තුන්වේල කෑමටවත් ප්‍රමාණවත් නොවන බවත්, සමස්ත රාජ්‍ය සේවකයන්ගෙන් 70% ක් පමණ බැංකුවලින් ණය ලබා ගෙන තිබෙන බවත් හෙතෙම පවසා සිටියේය.

මේ නිසා සමස්ත රාජ්‍ය සේවකයන්ගෙන් 70 % කට පමණ සම්පූර්ණ වැටුප නොලැබෙන බවත්, ණය ලබාගත් සේවකයන්ගෙන් බහුතරයකට වැටුපෙන් ඉතිරිවන්නේ 40 % ක ප්‍රතිශතයක් හෝ ඊට ආසන්න මුදලක් බවත්, මේ නිසා බඩු මිල අඩු කර පොලී මුදල අඩුකර රාජ්‍ය සේවකයන්ට සහන ලබා දිය යුතු බවත් ඒ මහතා සඳහන් කළේය.



2020 වසරේදි 4 % - 6% අතර පොලියකට රාජ්‍ය සේවකයන්ට ණය ලබාදුන් බවත්, මේ නිසා නිවසක් ඉදිකර ගැනීමට ඉඩමක් හෝ වාහනයක් මිලදී ගැනීමට ණය ලබාගත් බවත්, එම ණයවල පොලිය මේ වන විට 13%ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවත් කියා සිටියේය.

ඉන්දික හේවාවිතාරණ