After-Fabrio-appeared-in-court-Canadas-lawyer-surrounded-the-media
පසුගියදා කැනඩාවේ ඔටාවාහි නිවසකදී එකම පවුලේ මවක සහ දරුවන් සිව්දෙනෙකුත් තවත් පුද්ගලයෙකුත් බිහිසුණු ලෙස තියුණු ආයුධයකින් කපා ඝාතනය කළ 19 හැවිරිදි ශ්‍රී ලාංකික ෆෙබ්‍රියෝ ද සොයිසා සිය ඝාතන චෝදනා සම්බන්ධයෙන් දෙවැනි වරට ඊයේ (14) අධිකරණය හමුවේ පෙනී සිටියේය.


කැනේඩියානු මාධ්‍ය වාර්තා දක්වන්නේ ඔහු අධිකරණයට ආවේ නැති බවය. ස්මාර්ට් දුරකථනයක වීඩියෝ සබැඳියකින් අධිකරණයේ පෙනී සිටි අතර මිනිත්තු 04 ක පමණ කෙටි කාලයක් පමණක් එසේ සිටියේය. විනිසුරු විමසූ නම කියන්න වයස කියන්න යන ප්‍රශ්න වලට ඔහු හෙමින් මුමුණමින් උත්තර දුන් බවත් හයියෙන් කියන්න කී විට ඒ දේවල් නැවත හයියෙන් කියූ බවත් අධිකරණ වාර්තා සඳහන් කරයි. නඩුවේ ඉදිරි කටයුතුවලදී ඔහු පෙනී සිටින්නේ කවර භාෂාවෙන්ද යන්න වැනි කාරණා විමසා තිබූ අතර ඔහු ඉංග්‍රීසි බසින් පෙනී සිටින බව කීය.
සාම විනිසුරු කැරන් බෝම් විනිසුරු හමුවේ මෙම කරුනු වලට අමතරව සොයිසාගේ පළමු අධිකරණයේ පෙනී සිටි අවස්ථාවේදී ඇතුළත් කර තිබූ වින්දිතයන්ගේ සමහර නම්වල අක්ෂර වින්‍යාසය නිවැරදි කිරීමට කටයුතු සිදුවූ අතර චෝදනා වෙනස් වුණේ නැත.



තවම චෝදනා පත්‍ර විභාගය ආරම්භවී නැති අතර ඝාතන වලට අදාළ කිසිවක් නඩුවේදී සාකච්ඡාවූයේ නැත.ෆෙබ්‍රියෝ  ද සොයිසාට ප්‍රථම මට්ටමේ මිනීමැරුම් චෝදනා 6ක් සහ මිනීමැරීමට තැත් කිරීමේ චෝදනාවක් තිබේ. ඔහු මීළඟට මාර්තු 28 අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ඔටාවාහි එල්ජින් වීදියේ උසාවියේ පැවති නඩු විභාගයට සැකකරු වෙනුවෙන් ඉවාන් ලිට්ල් නමැති කැනේඩියානු නීතීඥයා පෙනී සිටියේය. කුඩා අධිකරණ ශාලාව පිරෙන්නට වාර්තාකරුවන් පැමිණ සිටි බවත් ඔවුන් නඩුව අවසන් කර යද්දී නීතීඥයා වටකරගෙන ප්‍රශ්න අසන්නට වූ බවත් වාර්තා කර තිබෙන අතර චූදිතයා ගැන ඇසූ ප්‍රශ්න වලට නීතීඥ ඉවාන් ඉතා කෙටියෙන් හා ඇතැම් පැහැදිලි කිරීම් මගහරිමින් උත්තර දුන් බව වාර්තාවේ.
ෆෙබ්‍රියෝ ද සොයිසා කොහි සිටින්නේද යයි විමසූ විට

“ඔහු ආරක්ෂිත අත්අඩංගුවේ පසුවන බව මට අදහස් දැක්විය හැකිය. ඔහු හොඳින් කටයුතු කරනවා,”

ඇයි විශේෂ ආරක්ෂාවක්?

“දැනට ඇත්තටම ඔහුට “චෝදනා ලබාදී”  රඳවා තබා තිබෙනවා. රැඳවියන් බොහෝ විට වෙනත් සිරකරුවන්ගෙන් ආරක්ෂා කිරීමයි ආරක්ෂිත අත්අඩංගුවේ තබා ඇත්තේ.“

සැකකරුගේ පවුලේ අය මොකද කියන්නේ?
“මං ඇත්තටම සැකකරුගේ පවුලේ අය සමඟ සම්බන්ධ වී සිටිනවා.පැහැදිලිවම ඔවුන් ගොඩක් කලබල වුණා.  ඒ සිද්ධිය අසා ඉතා කණගාටුවෙන් සිටිනවා.



ඔවුන් තවම ලංකාවෙද?
“ඔවුන් ජීවත් වන්නේ ශ්‍රී ලංකාවේ නොවෙයි.නමුත් ඔවුන් ජීවත් වන්නේ කොහේද යන්න පැවසීමට මට බැහැ“

සැකකරුගේ මානසික තත්ත්වය පිළිබඳව ගැටලු තිබෙනවාද?

“මගේ සේවාදායකයාගේ මානසික තත්ත්වය පිළිබඳව අදහස් දැක්වීම මා ප්‍රතික්ෂේප කරනවා. මටත් ඔහු හමුවුනේ පෞද්ගලිකව සහ වීඩියෝ හරහා පමණයි.
ඔහුගේ මානසික සෞඛ්‍ය තක්සේරුවකට භාජනය කිරීම සඳහා කළ හැකි ඕනෑම ඉල්ලීමක් අධිකරණය භාරගනීවී කෙසේ වෙතත් එවැන්නක් කලොත් “සමහරවිට මෙතැන් සිට මාස කිහිපයක් ගතවනු ඇත,” ලිට්ල් පැවසීය.

ඔටාවා විශ්ව විද්‍යාලයේ නීති මහාචාර්ය ඩැෆ්නි ගිල්බට් මෙම නඩුවේ "සංකීර්ණත්වය" අනුව "සැලකිය යුතු මනෝචිකිත්සක ඇගයීම්" සිදුවනු ඇතැයි අපේක්ෂා කරන බවට ග්ලෝබල් නිවුස් වෙත අදහස් දක්වා තිබේ.

සිදුවීමෙන් තුවාල ලද ධනුෂ්ක වික්‍රමසිංහ බ්‍රහස්පතින්දා දහවල් වන විටත් රෝහලේ සිටි බවත් ඔහුගේ පියා සහ සහෝදරයා ඔහුට සහයෝගය දැක්වීම සඳහා ශ්‍රී ලංකාවේ සිට පැමිණ සිටි බවත් වාර්තා විය.
දේහයන් සම්බන්ධ අධිකරණ කටයුතු බොහෝ දුරට නිමව ඇති අතර
ඔහුගේ බිරිඳ සහ දරුවන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු මෙම සති අන්තයේ ඔටාවාහිදී සිදුකිරීමට නියමිතයි.