ඇල්ල ඌවකරඳගොල්ල 11කණුව ප්‍රදේශයේ සංචාරක හෝටලයක හිමිකරුවකු වන පොලිස් සැරයන්වරියකගේ සැමියෙකු පිළිස්සී මියයාම ඝාතනයක් බව හෙළිව තිබේ.
ඒ අනුව එම සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගේ ළඟින්ම සිටි හොඳම මිතුරා යැයි කියන 45 හැවිරිදි තිදරු පියකු සැකපිට ඊයේ (20) අත්අඩංගුවට ගත් බව ඇල්ල පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇල්ල ඌවකරඳගොල්ල ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි තිදරු පියෙකු යැයි පොලිසිය කියයි.
සැකකරුගේ බිරිය සමඟ මෙම සංචාරක හෝටල් හිමිකරු අනියම් සබඳතාවක් පවත්වා ගෙන ගොස් ඇත. එම සබඳතාව මෙම සැකකරුට දැනගන්නට ලැබීමත් සමඟ එයට පලිගැනීමක් වශයෙන් මෙම හෝටල් හිමිකරුගේ සිරුරට පෙට්‍රල් දමා ගිනිතබා ඇති බව පොලිසිය කියයි. අත්අඩංගුවට ගැනීමෙන් පසු සැකකරු පොලිසියට සිදු කළ පාපොච්චාරණයේදී ද ඒ බවට තොරතුරු අනාවරණය වී ඇති බව පොලිසිය පැවසීය.
ඇල්ල ඌවකරඳගොල්ල 11 කණුව ප්‍රදේශයේ පදිංචිව සිටි සංචාරක හෝටල් හිමිකරුවකු වන ගාමිණි ජයසිංහ (46) නමැති තිදරු පියෙකු මෙසේ පිළිස්සුම් තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 12 වනදින මිය ගොස් තිබුණි.
මොහුගේ බිරිය පොලිස් සැරයන්වරියක බවත් ඇය සිය දියණියන් තිදෙනාගේ අධ්‍යාපන කටයුතු සඳහා දියණියන් තිදෙනා සමඟ බණ්ඩාරවෙල ප්‍රදේශයේ කුලී නිවසක නතර වී සිට ඇති බවත් පොලිසිය කීය.
මෙම සැකකරු සහ හෝටල් හිමිකරු කාලයක් තිස්සේ හොඳම යාළුවන් ලෙස එකට මත්පැන් පානය කරමින් කෑම කමින්, එකට ගමන් බිමන් යමින් හොඳම මිතුරන් ලෙස කල් ගෙවමින් සිට ඇතැයි පොලිසිය පැවසීය .
මෙම සැකකරු වැල්ලවාය බණ්ඩාරවෙල පෞද්ගලික බස්රථයක රියැදුරකු ලෙස කාලයක් සේවය කර ඉන් ඉවත් වී දැනට කුලී වැඩ කරමින් ජීවත් වන බව පොලිසිය කියයි. මෙම හෝටල් හිමිකරු සැකකරුගේ 43 හැවිරිදි බිරිය සමඟ අනියම් සබඳතාවක් පවත්වා ගෙන ගොස් ඇති බවත් පොලිසිය පවසයි.
මෙම සබදතාව සැකකරුට දැනගන්නට ලැබීමෙන් පසු එය නවතා දමන ලෙසට කිහිපවරක් සැකකරු සිය හොඳම මිතුරා වන හෝටල් හිමිකරුට පවසා ඇතත් හෝටල් හිමිකරු එය නොතකා දිගින් දිගටම සම්බන්ධය පවත්වා ගෙන ගොස් ඇතැයි පොලිසිය කීය.
මේ අතරතුරේ ඉකුත් 6 වන දින රාත්‍රි හෝටල් හිමිකරු බණ්ඩාරවෙලට ගොස් බිරිය මුණගැසී මළගෙදරකට යාමටත්, බදුල්ලේ යාමටත් ඇති බව පවසා පැමිණ යළි රාත්‍රී 9.30ට පමණ ඇල්ල ඌව කරඳගොල්ල සංචාරක හෝටලය පිහිටි ඒ අසල නිවසට පැමිණ රාත්‍රී නින්දට ගොස් ඇති අතර, ඒ අතරතුරේ පෙට්‍රල් කෑනයක් රැගෙන නිවසේ සැගවී සිටි සැකකරු නිදාගෙන සිටි හෝටල් හිමිකරු ගේ සිරුරට එය වත්කර ගිනිතැබූ බවට තොරතුරු අනාවරණය විනැයි පොලිසිය සඳහන් කළේය.
මෙහිදී සැකකරුගේ ද කකුල් දෙක, අත් පා මුහුණ පිළිස්සී ඇත. එම අවස්ථාවේ ඔහු එම නිවසින් පලා ගොස් රාවණා ඇල්ල රක්ෂිතයේ සැඟවී සිට ගෙන ගිය ඇඳුම් මාරුකරගෙන කතරගම නුවරඑළිය රාත්‍රී බස්රථයේ නැඟී දෝව දික්අරාවට පැමිණ ඇත. එතැන් සිට බදුල්ල සිට කොළඹ බලා ගමන් ගත් බස්රථයක නැඟ හපුතලේ නගරයට ගොස් හපුතලේ සිට ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානයට පාගමනින් ගොස් පසුව බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ උඩරට මැණිකේ දුම්රියේ නැඟී නාවලපිටියට ගොස් බිරියගේ නැගණියගේ නිවසට ගොස් ඇති බවත් පොලිසිය පැවසීය.
නාවලපිටිය ප්‍රදේශයේ ලඳු කැළෑවක සැඟවී දින කීපයක් පිළිස්සුම් තුවාල සහිතව කල් ගෙවූ මොහුට බිරියගේ නැගණිය විසින් බේත් ගෙනැවිත් දී ඇතැයි කීය.
මොහු ඇද සිටි පිළිස්සී ගිය ඇඳුම් දුම්රියේ එන අතරතුරේ අතර මගදී විසිකර දමා ඇතැයි පොලිසිය පවසයි.
සැකකරු මියගිය හොඳම මිතුරා වන හෝටල් හිමිකරුගේ මරණයට සහභාගි නොවීම නිසාවෙන් සැකසිතූ ඇල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ටී.කේ.යූ.ඩබ්ලිව්. අබේගුණවර්ධන, පොලිස් පරික්ෂක එච්.පී. පාලිත යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු සිදු කර සැකකරු සතියකට පමණ පසුව ඔහුගේ ඇල්ල ඌව කරදගොල්ල නිවසට පැමිණ සිටියදී මෙසේ අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළේය.
ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී මෙම ඝාතනය පිළිබඳව තොරතුරු අනාවරණය විනැයි පොලිසිය පවසයි.
බණ්ඩාරවෙල වැඩබලන මහේස්ත්‍රාත් සෙනෙවිරත්න වීරසිංහ මහතා සිද්ධිය වූ ස්ථානයට ගොස් මහේස්ත්‍රාත් පරික්ෂණය සිදු කළ අතර, බදුල්ල වැඩබලන මහේස්ත්‍රාත් සුජීවන ද සිල්වා මහතා මළසිරුර තිබූ බදුල්ල ශික්ෂණ රෝහලට ගොස් මහේස්ත්‍රාත් පරික්ෂණය සිදු කළහ.
බදුල්ල මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීනි ඩබ්ලිව්.ඒ.සී. ලක්මාලි මහත්මිය පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ අතර, අධික පිළිස්සුම් තුවාල හේතුවෙන් ඇති වූ සංකුලතා මත මෙම මරණය සිදු ව ඇති බවට එම වෛද්‍ය වාර්තාවෙන් අනාවරණය විය.
බණ්ඩාරවෙල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදීප් කළුපහන පොලිස් අධිකාරි ඩී.බී.එච්. කළණසිරි සහකාර පොලිස් අධිකාරි iv රුවන් ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ උපදෙස් මත ඇල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ටී.කේ.යූ.ඩබ්ලිව්. අබේගුණවර්ධන, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක එච්.පී.පාලිත, පොලිස් සැරයන් (56360) රංජිත්, (73637) රත්නායක , (76826) ඇහැලියගොඩ, (15666) රණතුංග, කා.පො.සැ (3276) රසිකා, (10123) ප්‍රියංගනී යන මහත්මින් වැඩිදුර පරීක්ෂණ පවත්වති.
(සී. ගමගේ - සොරණාතොට)
0 Comments