මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් නායකත්වය දරන එක්සත් මහජන පක්ෂයේ දේශපාලන ලේකම් ධුරයට ප්‍රසිද්ධ දේශපාලන විද්‍යා දේශකවරයෙක් පත් කර ඇති බවට වාර්තා වේ.
පසුගියදා පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වී මෙම කටයුත්ත කර තිබේ. දේශපාලන ලේකම් ධුරයට අමතරව මාධ්‍ය ලේකම් ධුරය ඇතුළු නිලතල ගණනාවක් වෙනස් කර පක්ෂය ප්‍රතිව්‍යුහගත කිරීමටද එම රැස්වීමේ දී එකඟ වී ඇතැයි වාර්තා වේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන්නේ අලුත්ම ඡන්ද ලකුණක් සහිත පොදු සන්ධානයකින් බවට පසුගිය දා වාර්තා විය. ජනාධිපතිවරයාගේ අපේක්ෂාව තමන්ට හිතවත් පක්ෂ සමග සන්ධානගත වී ජාතික අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට තරග කිරීමයි. ජනාධිපතිවරණයට ඉදිරිපත්වන පක්ෂය සම්බන්ධයෙන් අවශ්‍ය නිල කටයුතු සිදුකරන ලෙස ජනාධිපතිවරයා විසින් අමාත්‍ය ටිරාන් අලස්ට හා ජනාධිපති ලේකම් සමන් ඒකනායක වෙත පවරා තිබේ.
අමාත්‍ය ටිරාන් අලස් නායකත්වය දරන එක්සත් මහජන පක්ෂය ප්‍රතිව්‍යුහගත කිරීම පසුපස ජනාධිපතිවරයා එම පක්ෂය පොදු සන්ධානය බවට පත් කිරීමේ උත්සාහයක් විය හැකි බවට දේශපාලන විචාරකයන් සැක පළ කරයි. එක්සත් මහජන පක්ෂයේ ඡන්ද ලාංඡනය ජංගම දුරකථනයයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ හා බැසිල් රාජපක්ෂ අතර පසුගියදා පැවැති හමුවකදී ජනාධිපතිවරණයේදී තමාට පොදුජන පෙරමුණේ සහය දෙන ලෙස රනිල් බැසිල්ගෙන් ඉල්ලීමක් කර තිබේ. පොහොට්ටුවේ සියලු ආසන බලමණ්ඩලවලින් හා විධායක සභාවෙන් විමසීමක් කිරීම සඳහා කාලය දෙන ලෙස මෙහිදී බැසිල් ඉල්ලීමක් කර තිබේ. මේ අතර බැසිල් සහ පොහොට්ටු මන්ත්‍රි පිරිසක් අතර පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරණයට පෙර මහා මැතිවරණය පැවැත්වීමෙන් වාසියක් ඇති විය හැකි බවට මතයක් පළ වී තිබේ. කථානායකවරයාට එරෙහිව පැවැත්වෙන විශ්වාස භංග යෝජනාව පරාජය කිරීම සඳහා පොහොට්ටුවේ මන්ත්‍රිවරුන් පිරිසක් විපක්ෂයේ පිරිසක් සමග එක්ව ඡන්දය ප්‍රකාශ කිරීමටත් ආණ්ඩුව විසුරුවා හැර මහා මැතිවරණයක් පැවැත් වීමට අවස්ථාවක් ගත යුතු බවටත් මෙහිදී අදහස් පළ වී තිබේ.
පොදුජන පෙරමුණේ නියෝජනය කරන ඇමැති, රාජ්‍ය ඇමැති හා මන්ත්‍රිවරුන් ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල්ට සහය දිය යුතු බව ප්‍රකාශ කර තිබේ. ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන සුදුසුම අපේක්ෂකයා රනිල් නිසා ඔහුට සහය දිය යුතු බව ප්‍රසන්න රණතුංග, දිලුම් අමුණුගම, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ෂෙහාන් සේමසිංහ, විදුර වික්රමානයක ඇතුළු මන්ත්‍රිවරුන් 85 ක් පමණ පොහොට්ටුවේ මන්ත්‍රි කණ්ඩයම් රැස්වීමේදී ප්‍රකාශ කර තිබේ. තවත් පොහොට්ටුවේ මන්ත්‍රිවරුන් පිරිසක් ව්‍යාපාරික ධම්මික පෙරේරා පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා කළ යුතු බවට පොහොට්ටුව තුළ මතයක් ගොඩනගමින් සිටින බවත් වාර්තා වේ.
සමගි ජනබලවේගය නියෝජනය කරන නියෝජිතයන් පිරිසක් පසුගිය දා විපක්ෂ නායක හා සජබ නායක සජිත් ප්‍රේමදාස හමුවී ඉදිරි ජනාධිපතිවරණයේදී සජබ සහය ජනාධිපති රනිල් වික්‍රමසිංහට දිය යුතු බවට ප්‍රකාශ කර තිබේ. මෙහිදී ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ පසුව පැවැත්වෙන මහා මැතිවරණයකින් පිහිටුවන ආණ්ඩුවේ අගමැති ධුරය සජබට දෙන බවට අවබෝධතා ගිවිසුමක් අත්සන් කරගත යුතු බවය. තලතා අතුකෝරල, රෝහිණී කවිරත්න, රාජිත සේනාරත්න, ගයන්ත කරුණාතිලක වැනි පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් මේ කාරණය අවධාරණය කර තිබේ.
මේ අතර සජබ බහුතරයක් ආසන බල මණ්ඩලද ජනාධිපතිවරණයට සජිත් ප්‍රේමදාස තරග නොකර රනිල්ට වික්‍රමසිංහට සහය දිය යුතු බවට යොජනා කර තිබේ. පසුව ඉදිරියේදී පැවැත්වෙන මහා මැතිවරණයකදී එජාප සහය ලබාගෙන ආණ්ඩුවක් පිහිටුවා අගැමැති ධුරය සජිත්ට ගත යුතු බවද එහිදී යෝජනා වී තිබේ.
(සමන් සමරක්කොඩි-Aruna)
0 Comments