Cash-rewards-from-the-police-for-information-about-the-suspects-firearms-and-grenades

සැකකරුවන් පිළිබඳව නිවැරදි තොරුතුරු ලබාදෙන පුද්ගලයන්ට හා ගිනි අවි හා අත් බෝම්බ සම්බන්ධ තොරුතුරු ලබාදෙන මහජනතාවට මුදල් ත්‍යාග ලබා දීමට කටයුතු කරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

අපරාධවලට සම්බන්ධ,මත්ද්‍රව්‍ය වාරම්වලට සම්බන්ධ සැකකරුවන් හා ඔවුන්ට සහාය දක්වන පිරිස් සිටින බවත්, මෙවැනි පිරිස් පිළිබඳව තොරතුරු ලබාදෙන පිරිස්වලට මුදල් ත්‍යාග ලබාදෙන ලෙසට පොලිස්පති දේශ බන්දු තෙන්කොන් මහතා උපදෙස් ලබා දී තිබෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.



මේ අනුව ටී පනස් හය ගිනි අවියක් සැකකරුවන් සමග අත්අඩංගුවට ගැනීමට තොරතුරු ලබාදෙන පුද්ගලයන්ට රුපියල් ලක්ෂ පහක(5) මුදලක් හා සැකකරුවන් නොමැති අවස්ථාවෙහිදී තොරතුරු ලබාදෙන පුද්ගලයන්ට රුපියල් ලක්ෂ පහක් හා රිපිටර් වර්ගයේ තුවක්කුවක් සැකකරුවෙකු සමග අත්අඩංගුවට ගැනීමේදී තොරතුරු ලබාදෙන පුද්ගලයන්ට රුපියල් දෙලක්ෂ පනස් දහසක මුදලක් හා සැකකරුවකු නොමැතිව අත්අඩංගුවට ගැනීමකදී තොරතුරු ලබාදෙන පුද්ගලයන්ට රුපියල් ලක්ෂ දෙකක මුදලක් ලබාදෙන බවත්, විදේශ රටවල නිෂ්පාදිත පතොරම් තුවක්කුවක් සැකකරුවකු සමග අත්අඩංගුවට ගැනීමකදි තොරතුරු ලබාදෙන පුද්ගලයන්ට රුපියල් පනස් දහසක මුදලක් හා සැකකරුවකු නොමැති අවස්ථාවලදී තොරතුරු ලබාදෙන පුද්ගලයන්ට රුපියල් විසිපන්දහක මුදලක් ලබාදෙන බවද හෙතෙම පැවසීය.



පිස්තෝල ගිනි අවියක් සැකකරුවකු සමග අත්අඩංගුවට ගැනීමේදී තොරතුරු ලබාදෙන පුද්ගලයන්ට රුපියල් ලක්ෂ තුනක මුදලක් හා සැකකකරුවකු නොමැතිව පිස්තෝල අවිය අත්අඩංගුවට ගැනීමකදී තොරතුරු ලබාදෙන පුද්ගලයන්ට රුපියල් ලක්ෂ තුනක මුදලක් ලබා දෙන බවද ඒ මහතා සඳහන් කළේය.

රිවෝල්වර ගිනිඅවියක් සැකකරුවකු සමග අත්අඩංගුවට ගැනීමකදී තොරතුරු ලබාදෙන පුද්ගලයන්ට රුපියල් දෙලක්ෂ පනස් දහසක මුදලක් හා සැකකරුවකු නොමැතිව ගිනි අවිය පමණක් අත්අඩංගුවට ගැනීමකදී රුපියල් දෙලක්ෂ පනස් දහසක මුදලක්ද, විදේශ රටවල නිෂ්පාදිත ස්වයංක්‍රීය ගිනි අවියක් සැකකරුවකු සමග හෝ නොමැතිව අත්අඩංගුවට ගැනීමකදී තොරතුරු ලබාදෙන පුද්ගලයන්ට රුපියල් ලක්ෂ දෙකක මුදලක් හා නිශ්චිතව සඳහන් කර නොමැති ස්වයංක්‍රීය ගිනි අවි සැකකරුවකු සමග අත්අඩංගුවට ගැනීමේදී රුපියල් ලක්ෂ දෙකක මුදලක් හා සැකකරුවකු නොමැති අවස්ථාවෙහිදී රුපියල් ලක්ෂයක මුදලක් හා විදේශ රටවල නිෂ්පාදිත අත් බෝම්බ සැකකරුවකු සමග අත්අඩංගුවට ගැනීමකදී තොරුතුරු ලබා දෙන පුද්ගලයන්ට රුපියල් පනස්  දහසක මුදලක් හා සැකකරුවකු නොමැති අවස්ථාවකදී රුපියල් විසිපන් දහසක මුදලක් ලබාදෙන බවද හෙතෙම සඳහන් කළේය.


ඉන්දික හේවාවිතාරණ