borella-incident

බොරැල්ල ප්‍රසිද්ධ අවමංගල්‍ය ශාලාවක තැන්පත් කර තිබූ දේහයක අවසන් කටයුතු නවතා පශ්චාත් පරීක්ෂණයක් සඳහා දේහය කොල්ලුපිටිය පොලිසිය විසින් රැගෙන යනු ලැබීය. මරණය සැක සහිත බවට මියගිය පුද්ගලයාගේ බිරිඳ කළ පැමිණිල්ලකට අනුව දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා කළ නියෝගයකට අනුව කොල්ලුපිටිය පොලිසිය අවසන් කටයුතු කිරීම නවතා මෙලෙස දේහය රැගෙන ගියේය.



අවසන් කටයුතු නවතා පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීම සඳහා මෙලෙස රැගෙන යන ලද්දේ 64 හැවිරිදි ලලිත් සේනානායක නමැත්තාගේ දේහයයි.

කොල්ලුපිටිය පොලිසියේ නිලධාරීහු අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් මියගිය ලලිත් සේනානායක නමැත්තා මාස තුනක පමණ කාලයක සිට ඇල්ෆ්‍රඩ් හවුස්හි ඔහුගේ අක්කාගේ නිවසේ නතර වී සිට ඇති බවත් එසේ සිටියදී පසුගිය 10 වැනිදා ඔහු මියගොස් ඇති බවත් දැනුම් දුන්හ.මියයෑමට පෙර ඔහු වකුගඩු සහ හෘදයාබාධ රෝගවලින් පෙළී ඇති බවත් එම රෝගී තත්වයන්ට ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් ඇතැයි ද දැනුම් දුන් කොල්ලුපිටිය පොලිසිය ඔහුගේ අවසන් කටයුතු කිරීම සඳහා බොරැල්ලේ අවමංගල්‍ය ශාලාවක තැන්පත් කර තිබියදී මියගිය පුද්ගලයාගේ බිරිඳ වන මායා දිලුක්ෂි මහත්මිය සිය ස්වාමිපුරුෂයාගේ මරණය සැක සහිත බවට පොලිසියට පැමිණිලි කළ බවද දැනුම් දුන්නේය.



මේ තත්වය අනුව ලලිත් සේනානායක නමැත්තාගේ දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියම කරන්නැයි ඉල්ලා සිටි කොල්ලුපිටිය පොලිසියේ නිලධාරීහු පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීම සඳහා දේහය රැගෙන යෑමට ඉඩදෙන ලෙස මියගිය පුද්ගලයන්ගේ ඥාතීන්ට නියම කරන්නැයිද ඉල්ලා සිටියහ.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට ද පශ්චාත් මරණ පරීක්ෂණය අවස්ථාවේදී මරණකරුගේ සියලුම වෛද්‍ය වාර්තා ඉදිරිපත් කිරීමට ද මරණකරුගේ පාර්ශ්වයට නියම කළ මහෙස්ත්‍රාත්වරයා පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව දේහය සම්බන්ධ අවසන් කටයුතු කිරීමට මියගිය පුද්ගලයන්ගේ ඥාතීන්ට අවසර දුන්නේය. අවසන් කටයුතු කිරීම සඳහා බොරැල්ල ප්‍රසිද්ධ අවමංගල්‍ය ශාලාවක තැන්පත් කර තිබූ දේහය සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා දුන් නියෝගයකට අනුව කොල්ලුපිටිය පොලිසිය විසින් දේහය රැගෙන යනු ලැබීය.පැමිණිල්ල වෙනුවෙන් කොල්ලුපිටිය පොලිසියේ කොස්තාපල් 81003 අමිත් අමරවික්‍රම මහතා පෙනී සිටියේය.


 විමුක්ති එස් රුද්‍රිගු