නව විදුලිබල සම්බන්ධතා ලබා දීමේ දී අයකර ගන්නා තැන්පතු මුදල සඳහා ගෙවිය යුතු වාර්ෂික පොලී මුදල් එම මුදල් තැන්පත් කළ දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි පාරිභෝගිකයන්ට ලබා දෙන ලෙස විදුලිබල සහ පුනර්ජනනීය බලශක්ති පාරිභෝගික සංගමය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඊයේ (21) ඉල්ලා සිටියේය.
පාරිභෝගිකයන්ගෙන් ලබා ගන්නා තැන්පතු මුදලට අදාළ පොලී මුදල් අයකර දෙන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී නීතිඥ ආචාර්ය රවීන්ද්‍රනාත් දාබරේ මහතා මෙම ඉල්ලීම කළේය.
මුර්දු ප්‍රනාන්දු, ජනක් ද සිල්වා, අර්ජුන ඔබේසේකර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම පෙත්සම කැඳවනු ලැබිණි.
එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ආචාර්ය රවීන්ද්‍රනාත් දාබරේ මහතා පෙන්වා දුන්නේ විදුලිබල මණ්ඩල පනතේ 28 (3) වන වගන්තිය අනුව නව විදුලිබල සම්බන්ධතා ලබා දීමේ දී පාරිභෝගිකයන්ගෙන් ලබා ගන්නා තැන්පතු මුදලට අදාළ පොලී මුදල් ගණනය කර එම පාරිභෝගිකයන්ට ගෙවිය යුතු බවය.
ඒ අනුව පාරිභෝගිකයන්ට ගෙවිය යුතු පොලී මුදල් 2024 ජනවාරි මස සිට ගෙවීමට කටයුතු කරන බවට විදුලිබල මණ්ඩලය මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයට පොරොන්දුවක් ලබා දී ඇති බව ඒ මහතා සඳහන් කළේය.
කෙසේ වුවද මේ වන විට එම මුදල් ගෙවා ඇත්තේ කවර පාරිභෝගිකයන් සඳහාද, කොපමණ මුදලක් ගෙවා තිබේද යන්න සම්බන්ධයෙන් කරුණු කිසිවක් විදුලිබල මණ්ඩලය විසින් ඉදිරිපත් කර නැති බව නීතිඥවරයා සඳහන් කළේය.
පරිභෝගිකයන්ගෙන් අදාළ තැන්පත් මුදල අය කළ දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඊට අදාළ පොලී මුදල් හිමි විය යුතු බව ඒ මහතා සඳහන් කළේය.
එබැවින් එලෙස පොලී මුදල් ලබා දෙන ලෙස නියම කරන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.
කරුණු සලකා බැලූ විනිසුරු මඬුල්ල පෙත්සම අප්‍රේල් මස 02 දින නැවත කැඳවීමට තීරණය කළේය.
විදුලිබල සහ පුනර්ජනනීය බලශක්ති පාරිභෝගික සංගමය, එහි සභාපති මහේෂ් බණ්ඩාර ඉලංගසිංහ, එහි ලේකම් ප්‍රසාද් භාතිය අමරකෝන් විසින් මෙම පෙත්සම් ගොනු කරඇත.
විදුලිබල ඇමැතිවරයා, එම අමාත්‍යාංශයේ ලේකම්වරයා, විදුලිබල මණ්ඩලය ඇතුළු පිරිසක් මෙහි වගඋත්තරකරුවෝ වෙති.
විදුලිබල සම්බන්ධතාවක් ලබා ගැනීමේදී ලබා ගන්නා ගිවිසුම අනුව තැන්පතු මුදලට පොලිය පාරිභෝගිකයාට ගෙවිය යුතු අතර, ලෙකෝ ආයතනය එම මුදල් ගෙවන නමුත් විදුලිබල මණ්ඩලය එසේ නොකරන බව පෙත්සම්කරුවෝ පෙන්වා දෙති.
එබැවින් එම පොලී මුදල් පාරිභෝගිකයන්ට ගෙවන ලෙස වගඋත්තරකරුවන්ට නියම කරන ලෙස පෙත්සම් මඟින් ඉල්ලා ඇත.
පොළොව මත සවි කරන සූර්ය කෝෂ බල ශක්ති පද්ධතිය සවි කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට විදුලිබල මණ්ඩලය විසින් සැලසුම් කර ඇති බවද පෙත්සමෙහි සඳහන් වේ.
එහි එක් පැනලයක් සවි කිරීමට පර්චස් 40ක භූමි ප්‍රමාණය අවශ්‍ය වන අතර ඊට සෙවණ වැටීම වැළැක්වීම සඳහා ඒ අවට එම ප්‍රමාණයේම භූමියක් අවශ්‍ය බව ද පෙත්සම්කරුවෝ පෙන්වා දෙති. මේ නිසා වනාන්තර හෙළි කිරීමේ අවදානමක් ඇති බව පෙත්සමෙහි සඳහන් වේ. කෙසේ වුවද මෙම ව්‍යාපෘතිය නිසා වහල මත සූර්ය කෝෂ සවි කර විදුලිය උත්පාදනය කිරීමට විවිධ බාධක ඇති බවද, දිරි ගැන්වීම් නොකරන බවද පෙත්සම්කරුවෝ කියති.
එසේම අදාළ ව්‍යාපෘතිය නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1),14(1)g, 14(1)h යන මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීරණය කරන ලෙස පෙත්සම් මඟින් ඉල්ලා ඇත.
විදුලිබල මණ්ඩලය විසින් ක්‍රියාත්මක කිරීමට යෝජිත පොළොව මත සවි කරන සූර්ය කෝෂ බල ශක්ති පද්ධතිය සවි කිරීමේ ව්‍යාපෘතිය අත්හිටුවන නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරුවෝ අධිකරණයෙන් ඉල්ලා සිටිති.
0 Comments