chamara-damith-weraliyedda

දශක ගණනාවක ඉදන්ම එළිමහන් ප්‍රසංග වේදිකාවේ අපූරුම සලකුණක් තියපු ගායන ශිල්පියෙක් නමයි සේනානායක වේරලියද්ද වයසට ගියත් ඔහුට ප්‍රසංග වේදිකාව තුළ තිබෙන ඉල්ලුම කිසිම විදිහකින් අඩුවක් වෙලා නැහැ. මෑත කාලය තුළ ඔහුගේ අලුත් පෙනුමට ලැබී තිබෙන්නත් ලොකු ආකර්ෂණයක්, ඉතින් ඒ නිසාම අපි ප්‍රවීණ ගායන ශිල්පී සේනානායක වේරලියද්දට කතා කළා.

මේ දවස්වල සංගීත වැඩකටයුතු එහෙම කොහොමද?

ප්‍රසංග වේදිකාව එක්කම තමයි වැඩිපුර කාලය ගත කරන්නේ. අලුත් අවුරුද්ද එන නිසා ඉස්සරහට ටිකක් වැඩ වැඩිවෙයි. ඒ ඇරුණම අලුත් ගීත කිහිපයකුත් කරලා තියෙනවා. ඒවත් හෙමිහිට එළිදක්වන්න ඕනේ.



කොච්චර අලුත් ගීත කළත් සංගීත ප්‍රසංගවලට ගියාම ඉල්ලුම තිබෙන්නේ පරණ ගීතවලට.

ගොඩාක් අය මගේ පරණ ගීත තමයි ඉල්ලන්නේ. ඒ ගීත කොච්චර දුරකට පරණ වුණත් අදටත් ඉල්ලුම තියෙනවා.

දැන් ටික කාලෙක ඉඳන් ඔබ රැවුල එහෙම වවලා අලුත් පෙනුමකට හැඩ ගැහිලා.

හැමදේටම මුල කොවිඩ්. ඒ කාලේ අපට ප්‍රසංග තිබුණේ නෑ නේ. ඉතින් රැවුලට හිතුමතේ වැවෙන්න ඉඩඇරියා. ටිකක් වැවුණට පස්සේ මට තේරුණා රැවුල නිසා අලුත් පෙනුමක් ඇවිත් කියලා. ඒක නිසා කැපුවේ නෑ. එහෙමම ප්‍රසංගවලට යන්න හිතුවා.

අලුත් පෙනුමට නමක් එහෙමත් දාගෙනලු නේද ඉන්නේ.

(සිනාසෙමින්) ඔව්... ඔව්... මේකට කියන්නේ "කොරෝනා ස්ටයිල්" කියලා.

“කොරෝනා ස්ටයිල්” එකෙන් ගිහින් සමහරුන්ට ඔබ අදුරගන්නත් එහෙමත් බැරිවෙන්න ඇති?

කොවිඩ් පොඩ්ඩක් අඩුවුණාම මං ගිය මුල්ම ප්‍රසංගයේ දී ෆ්ලෑෂ්බක් බෑන්ඩ් එකේ රොෂාන් ප්‍රනාන්දුට මාව එක පාර අඳුරගන්න බැරිවුණා. පස්සේ රොෂාන්ම කිව්වා, අලුත් පෙනුම නියමයි දිගටම ඔය විදිහටම ප්‍රසංගවලට එන්න කියලා.

අලුත් පෙනුම එක්ක වේරලියද්ද ආයෙමත් තරුණ වෙලාද කියලත් හිතෙනවා?

(සිනාසෙමින්) සමහරක් හිතවත් ප්‍රසංග සංවිධායකවරු කියනවා රැවුල එක්කම
(සිනාසෙමින්) එහෙම හිතෙනවා නම් කොච්චර දෙයක්ද? හැබැයි මටත් ඔය කතාව සමහරු කියලා තියෙනවා. ඒ රැවුල වැව්වට පස්සේ මං තරුණ පාටයි කියලා. දැන් ඉතින් කපන්න වෙන්නේ නෑ.

ප්‍රසංග සංවිධායකවරු රැවුල පිටින් ඔබව ඉල්ලන කතාව මොකද්ද?

සමහරක් හිතවත් ප්‍රසංග සංවිධායකවරු කියනවා රැවුල එක්කම  ෂෝ එකට එන්න ඕනේ කියලා. ඒ එක්ක මට හිතෙනවා අලුත් පෙනුමටත් ලොකු ඉල්ලුමක් හැදිලා තියෙනවා කියලා.



 ප්‍රසංග වේදිකාවෙන් තිබුණු ඉල්ලුම නම් තාම වෙනසක් වෙලා නැනේ නේද

ඒක ඇත්ත. අදටත් මට ලොකු ඉල්ලුමක් තියෙනවා. ඒකට හේතුව මට හිතාගන්න බෑ. මගේ සමකාලීන ගායක ගායිකාවන් එක්ක බලද්දී ඒ ඉල්ලුම ගැන මටත් දැන් පුදුම හිතෙනවා.

වයසත් එක්ක දැන් සින්දු කිව්වා  ඇති කියලා එහෙම හිතිලා නැද්ද?

හිතාගෙන ඉන්නේ පුළුවන් කාලයක් වෙනකල් ප්‍රසංගවලට යන්න. මොකද ගායනය කියන්නේ මගේ වෘත්තිය. මං වෙන රැකියා කරන්නේ නෑ නේ. අනික තාමත් මට එහෙම හිතිලා නෑ. ඉස්සර වගේම ආසාවෙන් තමයි අදටත් සංගීත ප්‍රසංගවලට යන්නේ.

එතකොට ඔබ ප්‍රසංග නොතිබුණු කොවිඩ් කාලේ ජිවත් වුණේ කොහොමද?

මං ගමේ මනුස්සයා හින්දා හාල් පොල් ටික එහෙම තියෙනවා. ඉතින් ඒ කාලේ ගොවිතැනක් බතක් කරගෙන හිටියා.

ඔබේ ගීත ගායනා කරලා ගායන ලෝකයට ආපු දමිත් අසංක සහ චාමර වීරසිංහ ගැන මොකද හිතන්නේ?

දෙන්නම මුලින් මගේ සින්දු කිව්වට අද එයාලගේ සින්දු හදාගෙන ගමනක් යමින් ඉන්නවා. එහෙම තමයි වෙන්න ඕනේ. මුලින් චාමරලා, දමිත්ලා මගේ සින්දු කියන කොට සමහර අය කිව්වා ඔවුන්ට විරුද්ධව නඩු දාන්න කියලත්. ඒත් මට ඒ දේවල් කරලා පුරුදු නෑ. මං ඉගෙනගෙන තියෙන්නේ ඉස්සරහට යන මිනිස්සුන්ට අත දෙන්න මිසක් කකුල් මාට්ටු දාන්න නෙවෙයි. මට ඇත්තටම චාමර වීරසිංහ, දමිත් අසංක දෙන්නා ඉන්න තැන ගැන හරිම සතුටුයි.

වේරලියද්ද ගායකයෙක් නොවුනො නම් අද මොනවා කරයිද?

(සිනාසෙමින්) ගායකයෙක් නොවුණා නම් මං ඉතින් ගොවිතැනක් බතක් කරගෙන ගෙදරට වෙලා ඉඳියි. ඒත් ඉතින් දෛවය විසින් මාව ලංකාවම දන්න ගායකයෙක් කළා.

(දිල්කි අප්සරා)