chilaw-incident

 වයෝවෘද්ධ මාමණ්ඩියගේ ගෙල තියුණු ආයුධයකින් කපා ඝාතනය කළේ යැයි කියන දන්ත ශල්‍යවෛද්‍යවරයකු එම ඝාතනයෙන් පසු ඖෂධ වර්ගයක් අධි මාත්‍රාවකින් ලබාගැනීමෙන් සිහිසුන්ව නිවෙසේ ඇද වැටී සිටියදී හලාවත දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව හලාවත

මූලස්ථාන පොලිසිය පවසයි.මෙසේ ඝාතනය කර ඇත්තේ හලාවත, මයිකුලම ඊබට් සිල්වා මාවතේ පදිංචිව සිටි තම්මැන්නාගොඩ දෙලංකාරගේ ජයසේන නමැති 81 හැවිරි දි අයෙකි.ඝාතනයට හේතුව තවමත් අබිරහසක් යැයි පොලිසිය සඳහන් කරයි.මෙම දන්ත වෛද්‍යවරයා කිසියම් රෝගී තත්වයකට ප්‍රතිකාර ලබමින් සිටි අයකු බවට තොරතුරු ලැබී ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් පැවැසේ.



මියගිය ජයසේන නමැති අය විශ්‍රාමික දුම්රිය ස්ථානාධිපතිවරයකු වන අතර පුතුන් දෙදෙනකුගේ සහ දියණියගේ පියෙකි.එකම දියණිය හලාවත ප්‍රදේශයේ ප්‍රසිද්ධ බාලිකා විද්‍යාලයක ගුරුවරියක ලෙස සේවය කරන්නීය. එම දියණිය සහ ඇයගේ දන්ත වෛද්‍ය සැමියා හා ඔවුන්ගේ දරු දෙදෙනා සමග ජයසේන මහතා ජීවත්ව සිට ඇත.සහකාර දන්ත වෛද්‍යවරයා 58 වැනි වියේ පසුවන අතර පුතුන් දෙදෙනකුගේ පියෙකි. සැකකාර දන්ත වෛද්‍යවරයා රජයේ රෝහල් කිහිපයක දන්ත වෛද්‍යවරයකු ලෙස සේවය කර රජයේ සේවයෙන් කලින්ම විශ්‍රාම ගොස් ඇත. සැකකරු රජයේ සේවයේ නිරතව සිටින අතරවාරයේම මයිකුලම ඊබට් සිල්වා මාවතේ පෞද්ගලික දන්ත වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගොස් ඇත.



දත්ත වෛද්‍යවරයාගේ පුතකු නිවෙසට පැමිණි අවස්ථාවේ සිය පියා සිහිසුන්ව ඇද වැටී සිටින අයුරු දැක වහාම ඔහු හලාවත දිස්ත්‍රික් මහ රෝහලට රැගෙන ගොස් ඇතැයි ද හලාවත මූලස්ථාන පොලිසියේ නිලධාරියෙක් පැවසීය.ඝාතනයෙන් පසු සැකකාර දන්ත වෛද්‍යවරයා ඖෂධ වර්ගයක් අධිමාත්‍රාවකින් ලබාගෙන සිය දිවි නසා ගැනීමට උත්සාහ කර ඇති බව පරීක්‍ෂණවලින් පෙනී ගොස් ඇතැයි එම පොලිස් නිලධාරියා වැඩිදුරටත් කීය. මෙම දන්ත වෛද්‍යවරයා එම ඖෂධ වර්ගය හලාවත නගරයේ පිහිටි පෞද්ගලික ඔසු අලෙවි සලකින් මිලදී ගෙන පැමිණ ඇති බවද  කියති.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය