cope-coopa-commity

පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) නව සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා වැඩි ඡන්දයෙන් තේරී  පත්විය. ඒ මහතා තේරි පත්වූයේ නවවැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරය සඳහා පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ පළමු රැස්වීම ඊයේ(07දා) පැවති අවස්ථාවේදීය.



මෙහිදී සභාපති ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රෝහිත අබේගුණවර්ධන සහ ගාමිණි වලේබොඩ යන මහත්වරුන්ගේ නම් යෝජනා විය. රෝහිත අබේගුණවර්ධන මහතාගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් යෝජනා කළ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා විසින් ස්ථිර කරන ලදි.එසේම ගාමිණි වලේබොඩ මහතාගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා විසින් යෝජනා කරන ලද අතර පාර්ලිමේන්තු ඩිලාන් පෙරේරා මහතා විසින් ස්ථිර කරන ලදි. ඒ අනුව පැවති ඡන්ද විමසීමේදී රෝහිත අබේගුණවර්ධන මහතා වැඩි ඡන්දයෙන් තේරී  පත්විය.

කාරක සභාව අමතමින් නව කෝප් සභාපතිවරයා කියා සිටියේ කාරක සභාවේ කටයුතු ඉදිරියට ගෙන යාම සඳහා සියලු සාමාජිකයන්ගේ සහයෝගය අපේක්ෂා කරන බවයි. එසේම කිසිදු දේශපාලන පක්ෂ, පාට භේදයකින් තොරව එකම කමිටුවක සාමාජිකයන් ලෙස සියලු දෙනා සමඟ කටයුතු කිරීමට  අපේක්ෂා කරන බවද ඒ මහතා පැවසීය. මීට පෙර කෝප් කමිටුවේ සාමාජිකයකු ලෙස කටයුතු කරමින් ලද අත්දැකීම් සමඟ එම කටයුතු සාර්ථක ලෙස ඉටු කිරීමට අපේක්ෂා කරන බවද ඒ මහතා සඳහන් කළේය.

කෝප් කමිටුව මඟින් ලබා දෙන නිර්දේශ ක්‍රියාත්මක කර ඇති ප්‍රගතිය පිළිබඳ පක්ෂා කිරීමේ අවශ්‍යතාව මෙන්ම නිර්දේශ ක්‍රියාත්මක නොකරන ආයතන සහ නිලධාරීන්ට එරෙහිව නෛතික පියවර ගැනීමට හැකිවන ලෙස ස්ථාවර නියෝග වෙනස් කිරීමේ අවශ්‍යතාව ද මෙහිදී අදහස් දක්වමින් මන්ත්‍රීවරු පෙන්වා දුන්හ.



මේ අතර රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (කෝපා) නව සභාපතිවරයා ලෙස රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය නියෝජනය කරන සාමාජික මන්ත්‍රීවරුන්ගේ යෝජනා ස්ථිරත්වයෙන් ඒකමතිකව පත් කරගන්නා ලදි.ඒ නවවැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරය සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ පළමු රැස්වීම ඊයේ (07දා) පැවති අවස්ථාවේදීය.එහිදී රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා විසින් යෝජනා කළ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා විසින් ස්ථිර කරන ලදි.මෙහිදී නව සභාපතිවරයා විසින් කමිටුවේ ඉදිරි කටයුතු පිළිබඳව පැමිණ සිටි සාමාජික මන්ත්‍රීවරුන් සමග සාකච්ඡා කළ අතර මෙම ඉදිරි කටයුතු සාර්ථක කර ගැනීම සඳහා කමිටු සාමාජිකයන් සියලු දෙනාගේම සහය අපේක්ෂා කරන බවත් පැවසීය.


දිනේෂ් සමරකෝන්