ජනාධිපති ලේකම් කාර්යාලයට අනවසරයෙන් ඇතුළු වීමේ චෝදනා ලැබ සිටින දමිතා අබේරත්න, සවිනි කෞශල්‍යා සහ මොරින් නුර් යන සැකකාරියන්ට ලේ සාම්පලයක් දීම සඳහා මේ මස 21 වැනි දින පෙරවරු 9 ට කොළඹ ජාතික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පෙනී සිටින ලෙස කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (15) නියෝග කළේය.
එසේම ජනාධිපති කාර්යාලයට ඇතුළු වීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින 14 වන සැකකරු වන මංගල පුෂ්පකුමාරට ප්‍රකාශයක් දීම සඳහා මෝදර පොලිසියේ කොළඹ උතුර අපරාධ කොට්ඨාසයේ පෙනී සිටින ලෙසද කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේය.
අරගලකරුවන් පිරිසක් ජනාධිපති කාර්යාලයට ඇතුළු වූ දිනයේදී ජනාධිපති ලේකම් කාර්යාලයේ තිබී සනීපාරක්ෂක තුවා 6 ක් සොයාගෙන ඇති බවත් ඒවායේ අයිතිකරුවන් සෙවීම සඳහා සැකකාරියන්ගේ ලේ සාම්පල ලබා ගැනීමට අවශ්‍ය බවත් පැමිණිල්ල මෙහෙය වූ නිලධාරියා අධිකරණයට දැනුම් දුන්නේය.
එමගින් සැකකාරියන් තිදෙනා අනවසරයෙන් ඇතුළු වූවාද නැද්ද තහවුරු කර ගත හැකි බව පැමිණිල්ල මෙහෙය වූ නිලධාරියා පැවැසුවේය.
දමිතා අබේරත්න, සවිනි කෞශල්‍යා, මොරින් නූර්, වසන්ත මුදලිගේ, ජෝශප් ස්ටාලින් සහ දුමින්ද නාගමුව ඇතුළු සැකකරුවන්ට ජනාධිපති ලේකම් කාර්යාලයට අනවසරයෙන් ඇතුළු වීමේ චෝදනාව සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩුව ඊයේ (15) කැඳවූ අවස්ථාවේදී ඔවුහු කොටුව අධිකරණය හමුවේ පෙනී සිටියහ.
චූදිතයන් 47 දෙනකුට එරෙහිව ගොනු කර ඇති මෙම නඩුව වැඩි දුර වාර්තා සඳහා ලබන ජුලි 26 වැනිදා කැඳවීමට නියමිතය.
චූදිතයන් වෙනුවෙන් නීතිඥවරුන් වන තිළිණ වීරසිංහ, තරිඳු වික්‍රමනායක සහ හාතිය විජේසිංහ ඇතුළු පිරිසක් පෙනී සිටියහ.
විමුක්ති එස් රොද්‍රිගු
0 Comments