damitha-court

කොරියාවේ රැකියා ලබා දෙන බව පවසා, රුපියල් ලක්ෂ 30ක මුදලක් වංචා කළැයි කියමින් ප්‍රසිද්ධ රංගන ශිල්පිනියක වන දමිතා අබේරත්න සහ ඇයගේ සැමියාට එරෙහිව පැවරූ පැමිණිල්ල මෙම 20 වැනිදා යළි කැදවීමට කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (6) නියම කළේය.සිද්ධියට අදාළ පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ අංශය විසින් සිද්ධියට අදාළව කරනු ලැබූ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරමින් දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා සිද්ධියේ සැකකරුවන් වශයෙන් නම් කරනු ලැබූහ.

සිද්ධියට අදාළව කෙරුණ විමර්ශනවල ප්‍රගතිය මෙම පැමිණිල්ල යළි කැඳවන ලබන 20 වැනිදා අධිකරණයට වාර්තා කරන ලෙස මහේස්ත්‍රාත්වරයා රහස් පොලිසියට නියම කළ අතර,

එදින අධිකරණයේ පෙනී සිටින ලෙස සැකකාර අබේරත්න යුවළට නියම කළේය.මෙම සිද්ධිය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගනු ලැබුවහොත්, තමන්ට අපේක්ෂිත ඇප නියම කරන්නැයි ඉල්ලමින් දමිතා අබේරත්න සහ ඇයගේ සැමියා විසින් පවරා තිබූ අපේක්ෂිත ඇප ඇයැදුම්පත ද කැඳවූ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා, මෙම පැමිණිල්ල ද මෙම 20 වැනිදා යළි කැඳවීමට නියම කළේය.

මෙම සිද්ධියට අදාළව අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් නිකුත් කර තිබූ නොතීසියකට අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ අංශයේ නිලධාරීන් අධිකරණයේ පෙනී සිටි අතර, මෙම අපේක්‍ෂිත ඇප ඇයැදුම්පත සම්බන්ධයෙන් ඔවුහු විරෝධතා ඉදිරිපත් කළහ.

අබේරත්න යුවළ යුවළ වෙනුවෙන් පෙනී  සිටි නීතිඥවරු කරුණු දක්වමින්, මේ සම්බන්ධයෙන් ප්‍රතිවිරෝධතා ලිඛිතව ඉදිරිපත් කිරීමට තමන්ට කල් තබා දෙන්නැයි ඉල්ලා සිටියහ. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා, මෙම පැමිණිල්ල යළි කැඳවන මම 20 වැනිදා ප්‍රතිවිරෝධතා ලිඛිතව ඉදිරිපත් කිරීමට අවසර වන්නේය.