daughter-excaped-due-to-mother

මාස කිහිපයකට ඉහතදී ඉතාලි ජාතිකයෙකුගේ අනුදැනුම මත තම බාල වයස්කාර දියණිය පැහැරගෙන ගොස් ඇති බවට මවක කළ පැමිණිල්ලක් විභාග කිරීමේ දී ඇය පැහැර ගැනීමකට ලක්ව නැති බවත් මව දියණිය විවිධ පුද්ගලයන්ට විකිණීම නිසා බේරි සිටිමට  කටුනායක ප්‍රදේශයේ නිවසක කල් ගත කර ඇති බවත් හෙළි වී ඇතැයි බඩල්ගම පොලීසිය කියයි.



මවගේ පැමිණිල්ල සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමේ දී හෙලි වූ තොරතුරු මත පෙරේදා (03දා) මෙම දැරිය කටුනායක කුලී නිවසක සිටියදි සොයා ගැනීමෙන් පසු මේ බව අනාවරණය වී ඇත.

මාතර ප්‍රදේශයේ පදිංචිකාරියක බව කියන මෙම කාන්තාව විදේශගතව සිට පැමිණීමෙන් පසු වසර ගණනාවක සිට බඩල්ගම ප්‍රදේශයේ පුද්ගලයකු හා කල්ගත කර ඇතැයි ද විදෙස් භාෂා චතුර ලෙස කතා කිරීමේ හැකියාව ඇති ඇය නිතරම විදේශිකයන් ඇසුරු කිරීමට පෙලඹී ඇතැයි ද මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත.

එසේ සිටින අතර ඇය සිය දියණිය ද විවිධ පුද්ගලයන්ට විකිණීමේ යෙදී ඇතැයි ද එසේ දියණියගේ පහස ලබාගත් පුද්ගලයන් දියණිය අපයෝජනය කළ බවට පොලීසිවලට පැමිණිලි කර ඇති බව ද අනාවරණය වී ඇතැයිද පොලීසිය සඳහන් කරයි.

මෙසේ සිටියදී මාස කිහිපයකට ඉහතදී දියණිය අතුරුදන් වී ඇති අතර මව බඩල්ගම පොලීසියට පැමිණිලි කර ඇත්තේ

ඉතාලි ජාතිකයෙකුගේ අනුදැනුම මත ඇය පැහැරගැනීමට ලක්වී ඇති බවයි. තමන්ගේ පැමිණිල්ල පිළිබඳ නිසි පක්ෂණයක් නොකරන බවට මෙම කාන්තාව පොලිස් මූලස්ථානය ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට නිතර පැමිණිලි ඉදිරිපත් කර ඇති අතර ළමා හා කාන්තා කාර්යාංශය හෝ මේ සම්බන්ධයෙන් සොයා නොබලන බවට මාධ්‍ය ඔස්සේ ද දිගින් දිගටම චෝදනා කළ බවද පොලීසිය සඳහන් කරයි.

දැරිය රැකියාවක යෙදෙමින් කල් ගතකර ඇතැයි ද ඇය ස්වාධීනව සිටීමට කැමැත්තෙන් සිටින අතර මව සමග යාමට අකමැත්ත පළ කිරීම නිසා සුදුසු භාරකරුවකු යටතට පත් කිරීමට  අධිකරණයට ඉදිරිපත්  කිරීමට  කටයුතු කරන ලද බව පොලීසිය පවසයි.


මීරිගම - කාන්ති