කුරුණෑගල වෙළෙඳ සමාගමක හිමිකරුවකු බවට පෙනී සිටිමින් දොම්පෙ ප්‍රදේශයේ සපත්තු කර්මාන්ත ශාලාවකින් රුපියල් ලක්ෂ විස්සක පමණ සපත්තු තොගයක් රැගෙන ගොස් වංචා කර ඇති බව කියන සැකකරුවකු අප්‍රේල් මස 01 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරයේ රඳවා තැබීමට අත්තනගල්ල අංක 2 මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා පෙරේදා (18) නියෝග කළේය.
හෝමාගම පිටිපන ප්‍රදේශයේ පදිංචි ඇම්. රුක්මල් තිලකරත්න නමැත්තකු එසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
කුරුණෑගල ප්‍රදේශයේ පවත්වාගෙන යන වෙළෙඳ සමාගමක හිමිකරුවකු බවට පෙනී සිටිමින් දොම්පෙ ප්‍රදේශයේ සපත්තු කර්මාන්තශාලාවකින් රුපියල් ලක්ෂ විස්සක් වටිනා සපත්තු තොගයක් වංචනිකව රැගෙන ගොස් ඇති බව කියන සිද්ධියක් සම්බන්ධව ගම්පහ කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ දැනුම් දීමකට අනුව හෝමාගම පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණ.
ගම්පහ කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂක ඊ. ආනන්ද කුලවීර මහතා කරුණු දක්වමින් සැකකරු කුරුණෑගල ප්‍රදේශයේ වෙළෙඳ සමාගමක් පවත්වාගෙන යන බවට ව්‍යාජ ලේඛන සකස් කර පැමිණිලිකාර කර්මාන්ත ශාලාවේ පාලනාධිකාරිය නොමග යවා වංචනිකව රුපියල් ලක්ෂ විස්සක සපත්තු රැගෙන ගොස් වෙළෙඳසල්වලට විකුණා ඇති බව පරීක්ෂණවලදී හෙළිව ඇති බව කියා සිටියේය. මෙම සැකකරු වෙළෙඳ ආයතනයේ හිමිකරු බවට පෙනී සිටිමින් තවත් පිරිසක් සමඟ එක්ව වංචාව කර ඇති බව ද පොලිස් පරීක්ෂකවරයා කීය.
වංචනිකව රැගෙන ගොස් ඇති සපත්තු තොගය වෙළෙඳසල් විස්සකට විකුණා ඇති බවත්, එසේ රැගෙන ගොස් ඇති සපත්තු තොගයෙන් රුපියල් ලක්ෂ අටක පමණ සපත්තු තොගයක් සොයා ගත් බවත් පොලිස් පරීක්ෂකවරයා කියා පැවසීය.
මොහු මේ අයුරින් රට පුරාම ව්‍යාපාරික ස්ථානවලින් රුපියල් ලක්ෂ ගණන් වටිනා විවිධ භාණ්ඩ රැගෙන ගොස් වංචා කිරීම්වලට අදාළව අධිකරණ කිහිපයකම නඩු පවතින බවත්, මෙවැනිම තවත් වංචාවක් සම්බන්ධයෙන් හා මෙම වංචාව පිළිබඳව හෝමාගම පොලිසිය බලවත් පරිශ්‍රමයක් දරා මොහු අත්අඩංගුවට ගත් බවත් පොලිස් පරීක්ෂකවරයා වැඩිදුරටත් කරුණු දක්වමින් කියා සිටියේය. වංචනිකව රැගෙන ගොස් ඇති අනෙක් සපත්තු තොගය සොයා ගැනීම සඳහා වැඩිදුරටත් පරීක්ෂණ පවත්වාගෙන යන බවද පොලිස් පරීක්ෂකවරයා සඳහන් කළේය.
මෙම වංචාව සම්බන්ධව තවත් පුද්ගලයන් පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා ද වැඩිදුරටත් පරීක්ෂණ පවත්වාගෙන යන බව පොලිස් පරීක්ෂකවරයා කීය.
පොලිසියේ කරුණු දැක්වීම්වලින් අනතුරුව එසේ සැකකරු රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට නියෝග කෙරිණි. නැවත කැඳවීම අප්‍රේල් මස 1 වැනදාට කල් තැබිණ. ගම්පහ කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂක ඊ. ආනන්ද කුලවීර මහතා පැමිණිල්ල මෙහෙයවීය.
0 Comments