ගිනි තැබීමකින් පිලිස්සීමට ලක්වූ නාගයෙකුගේ සහ සුනඛයකුගේ සත්ත්ව කොටස් අතර පිලිස්සුණු මිනිස් හිස් කබලක් තිබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කිරීමේ පුවතක් මිහින්තලය පොලිස් වසමේ දොරමඩලාව ප්‍රදේශයෙන් වාර්තා වේ.
මිහින්තලය, දොරමඩලාව පොදු සුසාන භූමිය තුළ කිසියම් පුද්ගලයෙකුගේ පිලිස්සුණු අස්ථි කොටස් කිහිපයක් තිබෙන බවට ලැබුණු පැමිණිල්ලක් සම්බන්ධයෙන් ප්‍රථමයෙන් මෙම විමර්ශනය ආරම්භ කළ බව පොලිසිය සඳහන් කළේය. එම ස්ථානයට ගොස් වැඩිදුර විමර්ශන සිදු කිරීමේදී මිනිස් හිස් කබල සමඟ තිබී සුනඛයකුගේ හා නාගයකුගේ ද අස්ථි කොටස් තිබී හමුවූ බවද පොලිසිය සඳහන් කළේය.
මෙම පිලිස්සුණු අස්ථි කොටස් පිළිබඳව පරීක්ෂා කිරීමේදී සැක කටයුතු තත්වයක් ඇති වීම හේතුවෙන් එම අස්ථි කොටස් මෙහිදී අනුරාධපුර අධිකරණ වෛද්‍ය නිලධාරි එම්.එම්.ඒ.සී. ගුණතිලක මහතාගේ නිරීක්ෂණයට ලක් කෙරුණි.
විමර්ශන කටයුතු සිදු කෙරෙමින් තිබුණු ස්ථානයට පැමිණි අසල්වැසියකු පොලිසිය හමුවේ ප්‍රකාශයක් ලබා දෙමින් කියා සිටියේ, නාගයකු විසින් තම නිෙවසේ සිට සුනඛයාට දෂ්ට කිරීම හේතුවෙන් නාගයාට පහරදී මරා දැමූ බවත්, පසුව සුනඛයා ද මිය ගිය බවය. ඉන් අනතුරුව එම සුනඛයා සහ නාගයා සුසාන භූමියේ මෙම ස්ථානයට ගෙනවිත් දමා පුලුස්සා දැමීමට කටයුතු කළ බවද කීය.
තවදුරටත් එම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට ප්‍රකාශයක් සිදු කරමින් එම පුද්ගලයා අනාවරණය කර සිටියේ, සුනඛයා සහ නාගයා පිලිස්සෙමින් තිබූ ගිනි ගොඩට අසල ගල් වැඩපලක සේවයේ නිරත අසල්වාසියකු විසින්, සුසාන භූමියේම තිබූ මිනිස් හිස් කබලක් ගෙනවිත්දමා ඇති බවය. කෙසේ වෙතත් පොලිසිය පවසන්නේ පුද්ගලයෙකුගේ හිස් කබලක් මෙසේ පුලුස්සා දැමීම පිළිබඳව වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇති බවය. සත්ත්ව අස්ථි කොටස් සමඟ හමුවූ පුද්ගල අස්ථි කොටස් පිළිබඳව පවතින සැක කටයුතු තත්ත්වය හේතුවෙන් එම ස්ථානය මහේස්ත්රාත්වරයාගේ ද පරීක්ෂණයට ලක් කිරීමට නියමිතව තිබුණි.
අනුරාධපුර -සශිනි මධුෂානි
0 Comments