හෙරොයින් මිලිග්‍රෑම් 196 ක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වරදකරු කරමින් කොළඹ මහාධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කළ තරුණයකු සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට අභියාචනාධිකරණය ඊයේ (13දා) තීරණය කළේය.
විත්තිකරුගේ විත්ති වාචකය සම්බන්ධයෙන් මහාධිකරණ විනිසුරුවරයා නිසි සැලකිල්ලක් නොදැක්වීම හා විත්තිකරු සන්තකයේ තිබී මත්ද්‍රව්‍ය සොයාගත් බව කියන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරියාගේ සාක්කිය විශ්වාසනීයත්වයෙන් තොර වීම යන කරුණු මත මහාධිකරණ තීන්දුව ඉවත දමමින් විත්තිකාර තරුණයා සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට අභියාචනාධිකරණය නියම කළේය.
මෙලෙස නිදොස් කොට නිදහස් කරන ලද්දේ පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචි හෙට්ටිආරච්චිගේ සංජීව කුමාර හෙවත් සම්පත් නමැත්තාය. අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන මේනකා විජේසුන්දර සහ විකුම් කළුආරච්චි යන මහත්ම මහත්මීන්ගේ සැදුම්ලත් විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කළ අභියාචනා නඩුවක තීන්දුව ප්‍රකාශයට පත් කරමින් එලෙස නියම කෙරිණ. හෙට්ටිආරච්ගේ සංජීව කුමාර හෙවත් සම්පත් නමැත්තා ගොනු කර තිබූ පෙත්සමේ වගඋත්තරකරු වශයෙන් නීතිපතිවරයා නම් කර ඇත. 2015 අගෝස්තු 05 දින පෑලියගොඩ හතර කණුව අසල දී හෙරොයින් ග්‍රෑම් 196 සන්තකයේ තබා ගැනීමේ චෝදනාව යටතේ විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා මහාධිකරණයේ නඩු පවරා තිබිණ.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව අදාළ චෝදනාවන්ට ඔහු වරදකරු කරමින් කොළඹ මහාධිකරණය ජීවිතාන්තය දක්වා
සිරදඬුවම් නියම කර තිබූ අතර ඔහු මහාධිකරණය තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර තිබිණ.ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා කරුණු දක්වමින් විත්තිකරු විත්ති කූඩුවේ සිට විත්ති වාචකය ඉදිරිපත් කරමින් දුන් ප්‍රකාශය සහ ඔහුගේ දියණිය සහ බිරිඳ දුන් ප්‍රකාශ සම්බන්ධයෙන් මහාධිකරණ විනිසුරුවරයා තීන්දුවට එළැඹීමේදී නිසි සැලකිල්ල දක්වා නැතැයිද විත්තිකරු අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් නිලධාරියාගේ සාක්කිය පිළිගත නොහැකි යැයිද පෙන්වා දුන්නේය. ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගනිමින් සියලු චෝදනාවලින් විත්තිකරු නිදහස් කිරීමට අධිකරණය තීරණය කළේය. විත්තිකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න මහතා පෙනී සිටියේය.
බුද්ධිමාල් රුබේරු
0 Comments