රාජ්‍ය ඇමැති පියල් නිශාන්ත මහතාගේ තර්ජන හේතුවෙන් තවදුරටත් රාජකාරි කිරීමට නොහැකි බව ජනපතිවරයාට ලිපියකින් දන්වා සී-නෝර් පදනමේ සභාපති ආචාර්ය දුලාන් හෙට්ටිආරච්චි මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇත.ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා තමාට තර්ජනය කරමින් අල්ලස් ඉල්ලන බවත් ඒවා ලබා නොදුන් ඇතැම් අවස්ථාවල විවිධ මාර්ගවලින් තර්ජන කරන බවත් සඳහන් කරමින් ආචාර්ය දුලාන් හෙට්ටිආරච්චි මහතා මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට ලිඛිතව දන්වා ඇත.



ධීවර රාජ්‍ය අමාත්‍යාංශය යටතේ තිබෙන සීමාසහිත සී නෝර් පදනම දිගින් දිගමට පාඩු ලබන තත්වයක තිබිය දී තමා සභාපති ධුරය බාරගත් බවත් පියල් නිශාන්ත මහතා එම ආයතනයට සේවකයන් විසි දෙනකුට අලුතෙන් පත්වීම් දුන් බවත් හෙට්ටිආරච්චි මහතා ජනාධිතිවරයාට යවා ඇති ලිඛිත පැමිණිල්ලේ සඳහන් වේ.රාජ්‍ය ඇමැතිවරයා සිය ආසනයේ ඡන්දදායකයන්ට බෙදාදීමට බව කියමින් රුපියල් දස දහසක් වටිනා බඩු මලු ඉල්ලා සිටින අතර ඇතැම් අවස්ථාවල බඩු මලු මිලදී ගැනීම සඳහා මුදල් ඉල්ලා තර්ජනය කරන බවද හෙට්ටිආරච්චි මහතා ජනාධිපතිවරයාට යැවූ ලිපියේ සඳහන් කර ඇත.

අලුත් සේවකයන්ට අමාත්‍යාංශයෙන් වැටුප් ගෙවන ලෙස තමාට බලපෑම් කරන බවද එම ලපියේ සඳහන් කර තිබේ.රාජ්‍ය ඇමැතිවරයාගේ මෙම තර්ජන හේතුවෙන් තමා බලවත් චිත්ත පීඩාවකට පත්ව රාජකාරී කටයුතු කර ගැනීමට අපහසුවී ඇති බවද එම නිසා තමන් ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණයක් ගත් බවද දුලාන් හෙට්ටිආරච්චි මහතා

ජනාධිපතිවරයාට යවා ඇති ලිපියේ සඳහන් වෙයි.තමා සභාපති ධුරය භාරගත් පසුව ආයතනයේ තිබූ රුපියල් කෝටි පහක බැංකු අයිරාව ගෙවා ආයතනය ලාභ ලබන තත්ත්වයට පත් කළ බවද සී නෝර් අවන්හලේ නඩු කටයුතු නිමවා රුපියල් ලක්ෂ 80ක මුදලක් ආයතනයට ලබා ගත් බවද ඔහු ජනාධිපතිවරයාට දන්වා ඇත.

ෆයිබර් නිෂ්පාදනයට පමණක් යොමු වී තිබූ සී නෝර් ආයතනය සිවිල් ඉදිකිරිම්වලට අවතීරණය කිරිම, ඔස්ට්‍රේලියානු ආයෝජන සී නෝර් ආයතනය වෙත ලබා ගැනීම සහ ඉන්දියානු රාජ්‍ය ආයතන සමග සාකච්ඡා කර රුපියල් කෝටි 29ක් ආයතනයේ දියුණුව සඳහා ලබා ගැනීම වැනි විශාල කටයුතු තමාගේ ධුර කාලයේ දී සිදුකළ බවද ඔහු ජනාධිපතිවරයාට යවා ඇති ලිපියේ සඳහන් කර තිබේ.



සිනෝර් සභාපතිවරයා නගත චෝදනා පිළිබඳව ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාගෙන් කළ විමසුමකදී ඔහු සඳහන් කළේ තමාට එල්ල කරන චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන බවය. තමාට දෙන ඕනෑම අමාත්‍යාංශයක වගකීම නිසියාකාරව ඉටුකරන බව පැවසූ පියල් නිශාන්ත මහතා සඳහන් කළේ සී.නෝර් ආයතනයේ සභාපතිවරයා සමග තමාට කිසිදු ගැටලුවක් නොතිබූ බවය.කිසිදු පුද්ගලයකුගේ සිත රිදවීමේ අදහසක් තමාට නොමැති හෙයින් සී නෝර් පදනම ගැන හෝ සභාපතිවරයා ගැන හෝ තමා වැඩි තොරතුරු සඳහන් නොකරන බවද රාජ්‍ය ඇමැතිවරයා කීවේය.

රංජන් කස්තුරි