ස්ථිර රැකියාවක් නොමැතිව, ගිනියම් අව්වේ මහ පොළොව සමග හැප්පෙමින් වගා කර රැය පහන් වනතුරු එම වගාව අලින්ගෙන් ආරක්ෂා කරගැනීමට ගහක් උඩ තැනූ පැලක පැල් රකින උපාධිධාරි එක් දරු මවක අනුරාධපුර මහවිලච්චිය පේමඩුවේදී අපට හමු විය.ඇය, ඩී.පී. චතුරිකා දර්ශනී විපුලසේනය. දරුවන් පස් දෙනකුගෙන් යුත් පවුලක සාමාජිකාවක වන චතුරිකා, ඔයාමඩුව සිද්ධාර්ථ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය සපුරා ගෙන, උසස් අධ්‍යාපනය සඳහා අනුරාධපුර මැදි විදුහලට ඇතුළත් වූවාය.2014 වසරේදී විශ්වවිද්‍යාලයට ඇතුළු වීමට වරම් ලැබූ ඇය, උපාධිය ලබා ගැනීමෙන් අනතුරුව සුදුසු රැකියාවක් සොයා ගැනීම සඳහා වසර ගණනක් තිස්සේ පය ගෙවෙන තුරු ඇවිද්දත්,

ඇයට සුදුසු රැකියාවක් සොයා ගැනීමට නොහැකි විය.


ජීවිතය ගැට ගසා ගන්නට හරිහමන් ජීවනෝපායක් නොලද ඇය, අවසානයේ සිය සැමියා සමග මහ පොළොව සමග පොර බදන්නට වූයේ, තම එකම දරුවාට ද ආරක්ෂාව දෙමිනි.දහවල් කාලයේ මහ පොළොව සමග පොර බදන ඇය, රාත්‍රී කාලයේ ගොවිපොළේ රූස්ස ගසක ඉදිකළ පැලක රැය ගත කරන්නේ ආසාවට නොව වල් අලින් ඇතුළු වන සතුන්ගෙන් තම ගොවිතැන් ආරක්ෂා කරගැනීමටය.ඒ සෑම තැනකටම තම කුඩා පුතු ද රැගෙන යෑමට ඇයට සිදු විය.රැකියා විරහිත තරුණ තරුණියන්ගේ විරෝධයන්හිදී විශාල හඬක් ඇසුණේ ද ඇගෙන්ය.


චතුරිකා අප සමග මෙසේ ද පැවැසුවාය.

“මට සහෝදර සහෝදරියන් හතර දෙනකු සිටිනවා. ඉන් තිදෙනකු උසස් පෙළ සමත් අය. මම උපාධිධාරිනියක්. උපාධිය ලබාගෙන බොහෝ කාලයක් මුළුල්ලේ රැකියාවක් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයා ඇතුළු බලධාරීන් හමු වීමට අවස්ථා කිහිපයක්ම ගියා. මේ වනතුරු ප්‍රතිඵලයක් ලැබුණේ නැහැ.

මගේ මවුපියන් අපට ඉගැන්වූයේ කුලී වැඩ කරලයි. මම දැන් විවාහකයි. කුඩා දරුවකු ඉන්නවා. ඒ දරුවා ජීවත් කරන්න දැන් කුලී වැඩ මෙන්ම ගොවිතැන් කරන්නත් සිදු වෙලා තියෙනවා. ගොවිතැන් කරනකොට වල් අලින්ගෙන් සිදු වන උවදුර ගැන කවුරුත් දන්නා කරුණක්, රාත්‍රී කාලය පුරාවට මේ පුංචි දරුවත් එක්ක මම පැල් රකිනවා.මගේ මහත්තයා වැවට යනවා මාළු අල්ලන්න. පසු දින මම ආපණ ශාලාවලට කෙටි ආහාර පිසීම සඳහා උදේ වරුවම ගිනි රස්නෙ දුක් විඳිනවා. මේ දුක කාට කියන්න ද? ඇයි බලධාරීන්ට තේරෙන්නේ නැත්තේ? මේක මහා ඛේදවාචකයක්.”

උපුල් හේරත්