graduates-40000-joless

උපාධිධාරීන්ට රැකියා ලබා දීමට වැඩපිළිවෙළක් සකස් නොකිරීම නිසා මේ වන විට 40,000කට ආසන්න උපාධිධාරීන්  පිරිසක් රැකියා විරහිතව සිටින බව රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය සඳහන් කරයි.



කඩිනමින් රැකියා ලබා දීමට වැඩපිළිවෙළක් සකස් කරන ලෙසට බලධාන්ගෙන් දිගින් දිගටම ඉල්ලීම් සිදුකළත් මෙතෙක් රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබා දීමට වැඩපිළිවෙළක් සකස් කිරීමට බලධාරීන් කිසිදු උනන්දුවක් නොදක්වන බවද එම සංගමයේ මාතර දිස්ත්‍රික් නියෝජිත සුමිත් රත්නායක මහතා සඳහන් කළේය.

ඊයේ (24) කොළඹ ගුරු මැදුරේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව සඳහන් කළ සුමිත් රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළේ, ගුරු සේවය ඇතුළු රාජ්‍ය අංශයේ විශාල පුරප්පාඩු ප්‍රමාණයක් ඇති වී තිබෙන නිසා අදාළ පුරප්පාඩු ගණනය කර උපාධිධාරීන් බඳවා ගැනීමට වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවයි.

මෙම ඉල්ලීම් මුල් කර ගනිමින් අප්‍රේල් මස පළමු සතියේ දිනක කොළඹදී දැවන්ත විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට සැලසුම් කර තිබෙන බවත් 2020 වසරේ ජනවාරි 01වන දින සිට උපාධිය ලබා ගත් පිරිස් මේ ආකාරයට රැකියා ව්රහිතභාවයට පත් වී තිබෙන බවද ඔහු පවසා සිටියේය.

උපාධිධාරීන්ට රැකියා ලබා දෙන ලෙස ඉල්ලා පළාත් මට්ටමින් ආණ්ඩුකාරවරුන්ට හා දේශපාලනඥයන් සංදේශ පවා භාර දී තිබෙන බවත් ඒ සඳහා කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණ නිසා සියලුම පළාත්වල සිටින රැකියා විරහිත උපාධිධාරීන් ඒකාබද්ධ වී දෙමාපියන්ද සම්බන්ධ කර ගනිමින් විරෝධතා ව්‍යාපාර පැවැත්වීමට කටයුතු කරන බවද පැවසීය.

ඉන්දික හේවාවිතාරණ