රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සංවිධානාත්මක අපරාධකරුවකු මෙන්ම, මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවකු බව කියන නදුන් චින්තක නොහොත් හරක් කටා නමැත්තාට අයත්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ තිබූ ජංගම දුරකතන දෙකක් සහ හරක් කටාට සහ කුඩු සලිඳුට අයත් විදේශ ගමන් බලපත්‍ර දෙකක් අස්ථානගතවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අභ්‍යන්තර විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය සහ පොලිස් මූලස්ථාන විශේෂ විමර්ශන ඒකකය මගින් මෙම විමර්ශන ආරම්භ කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
හරක් කටා සහ කුඩු සලිඳු මැඩගස්කරයේදී අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව 2023.3.15 දින මොවුන් මෙරටට රැගෙන එන අවස්ථාවේදී මෙම දුරකතන දෙක සහ ලියකියවිලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙකු බාරයේ තිබී ඇති බවත්, සැකකරුවන් දෙදෙනා මෙරටට රැගෙන ඒමෙන් අනතුරුව, එම ජංගම දුරකතන සහ විදේශ ගමන් බලපත්‍ර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි විමර්ශන අංශය වෙත භාරදී තිබී ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ තිබූ මෙම ජංගම දුරකතන දෙක සහ විදේශ ගමන් බලපත්‍ර දෙක අස්ථානගත වූයේ කුමන දිනයකද යන්න හෙළිවී නොමැති බවද පොලිස් ආරංචි මාර්ග කියයි.මෙම දුරකතනවල සංවේදී දර්ශන, විවිධ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා සංවිධානාත්මක අපරාධකරුවන්ගේ ජංගම දුරකතන අංක, ආදී වැදගත් තොරතුරු රැසක්ම තිබූ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.
මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටි හරක් කටා නමැත්තාට ඉන් පලා යෑමට උත්සාහ තිරීමට ආධාර අනුබල දුන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළදීම ඔහුට සහාය පළ කළ පොලිස් කණ්ඩායමකට ඉදිරි දින කිහිපයේ ස්ථාන මාරුවීම් ලබාදීමට නියමිත ඇතැයිද පොලිස් ආරංචි මාර්ග වලින් පැවසේ.
මොවුන් සම්බන්ධයෙන් පොලිස් මූලස්ථාන විශේෂ විමර්ශන ඒකකය සහ ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය මගින් විමර්ශන ආරම්භ කර ඇති බවත්, විමර්ශනවලට අදාළව මෙම ස්ථාන මාරුවීම් දීමට නියමිතව ඇති බවත් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. හරක්කටා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටියදී ඔහුට සහාය පළ කිරීම සම්බන්ධයෙන් එහි මහජන පැමිණිලි විමර්ශන අංශයේ පිරිසකට චෝදනා එල්ල වී තිබිණි.
0 Comments