kalawana-incident

කලවාන, මීපාගම ජයන්ති විද්‍යාලයේ ශිෂ්‍යාවක ඊයේ (6) පාසලට එද්දී ඇද වැටීමෙන් මියගොස් ඇතැයි කලවාන පොලිසිය පවසයි.මියගොස් ඇත්තේ කලවාන, දකුණ කුකුළේගම පදිංචි දිසානායක මුදියන්සේලාගේ ඉමල්කා සත්සරණි නමැති 13 හැවිරිදි පාසල් ශිෂ්‍යාවකි.පාසලේ 08 වැනි ශ්‍රේණියේ ශිෂ්‍යාවක වූ ඇය ඊයේ (06) පන්තියේ නාම ලේඛනය කාර්යාලයේ සිට පන්තියට රැගෙන එනවිට බිම වැටී ඇතැයි ඇය සමග සිටි සිසුවියක ප්‍රකාශ කර ඇතැයි කලවාන පොලිසියේ ස්ථානාධිපති එච්.එම්. හේරත් මහතා කීය.එම සිසුවිය කලවාන මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර රෝහලට ඇතුළත් කරන විටත් ඇය මියගොස් සිටි බව රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය.



ඇයගේ 14 හැවිරිදි වැඩිමල් සහෝදරයාද කලකට පෙර රෝගී තත්ත්වයක් හේතුවෙන් මියගොස් ඇති බවට විමර්ශනවලදී හෙළිවී යැයි පොලිසිය කියයි.එම පවුලේ සිටි ඇත්තේ මෙම දරුවන් දෙදෙනා පමණක් බවත් කලවාන මූලික රෝහලට පැමිණි මියගිය ශිෂ්‍යාවගේ මව දැඩි සොවින් කෑ ගැසීම නිසා ඇය පාලනය කර ගැනීමට රෝහල් කාර්ය මණ්ඩලයට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවූ බවත් වාර්තා විය.මියගිය එම දරුවන් දෙදෙනාම ඉතා දක්ෂ අය බව ජයන්ති මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා පැවැසීය. කලවාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.එම්.ඩබ්ලිව්. හේරත් මහතාගේ මූලිකත්වයෙන් පරීක්ෂණ පැවැත්වේ.
ලසන්ත නිරෝෂන් පෙරේරා