kirulapone-incident

කිරුළපන සිද්ධාර්ථ පාරේ නිවෙසක නේවාසිකව සිටින විශ්වවිද්‍යාල සිසුවියන් දෙදෙනාගේ නිරුවත් දර්ශන හොර රහසේ ජංගම දුරකතනයෙන් පටිගත කළ 20 හැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගත් බව කිරුළපන පොලිසිය කියයි.සැකකරු සන්තකයේ තිබී නිරුවත් දර්ශන ඇතුළත් ජංගම දුරකතනය ද පොලිස් භාරයට ගෙන ඇත.මීට මාස හයකට පමණ ඉහතදී සිද්ධාර්ථ පාරේ නිවෙසක නේවාසිකව පදිංචියට පැමිණි තරුණියන් දෙදෙනා එම නිවෙසේ ඉහළ මහලේ පදිංචිව සිටින අතර, පහත මහලේ සැකකාර තරුණයා මව සහ නැගණිය සමග පදිංචිව සිට ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.



සැකකරුගේ පියා විදේශගතව සිටින බව පොලිසිය කීය. ඉකුත් 2 වැනිදා තරුණියක් නානකාමරය තුළ දිය නෑම සඳහා සූදානම් වීමේදී කිසියම් අයකු කවුළුවක් තුළ ජංගම දුරකතනයක් තබන අයුරු දුටු එක් සිසුවියක් ඒ සම්බන්ධයෙන් විමසිලිමත් වීමේදී, පහත මහලේ සිටින නිවෙස් හිමි කාන්තාවගේ පුතු බවට සැක හැර දැනගෙන, ඒ බව සිසුවියන් දෙදෙනාම කිරුළපන පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව සැකකාර තරුණයා අත්අඩංගුවට ගත් බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.සැකකරු එලෙස පටිගත කළ නිරුවත් දර්ශන සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇති ද, සැකකරු මිතුරන් අතර බෙදා ගෙන ඇති ද යන්න සහ තවත් පැති කිහිපයක් ඔස්සේ විමර්ශන සිදු කරන බව උසස් පොලිස් නිලධාරියෙක් කීය.
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)