kohuwala-flyover-issue

 හංගේරියා ශ්‍රී ලංකා ද්වීපාර්ශ්වික ගිවිසුමක් මත ආරම්භ කළ කොහුවල ගුවන් පාලමේ කටයුතු මේ වන විට නතර වී තිබීම නිසා කොහුවල නගර මංසන්ධියේ නිරන්තරයෙන් රථ වාහන තදබදයක් ඇති වී ඇත. 2021.06.07 දින ආරම්භ කළ මෙහි ඉදිකිරීම් අවසන් කිරීමට නියමිතව තිබුණේ 2023.04.06 දිනය.එහෙත් ව්‍යාපෘතියේ කටයුතු කරගෙන යමින් පැවතිය දී එහි ඉදිකිරීම් කටයුතු සියයට අසූ පහකට (85%) වඩා අවසන් කර තිබිය දී ශ්‍රී ලංකාවේ ඇති වූ මූල්‍ය අර්බුදය හේතුවෙන් හංගේරියානු රජය එම ණය ආධාර ලබාදීම නතර කිරීම හේතුවෙන් මෙම ගුවන් පාලමේ ඉදිකිරීම් කටයුතු අත්හිටු වීමට සිදු වූ බව මාර්ග සංවර්ධන අධිකාරියේ විවිධ විදේශධාර ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ අයි.කේ. බද්දේගම මහතා පැවසීය.



මෙතෙක් කළ ඉදිකිරීම් සඳහා වන බිල්පත්වලට ද එම ගෙවීම් සිදු කර නොමැති හේතුවෙන්, රජයේ ප්‍රතිපාදන යටතේ හෝ ඉතිරි ඉදිකිරීම් කටයුතු ඇරැඹීමට නොහැකි ගිවිසුම් අපහසුතාවක් පැන නැගී ඇතැයි ඒ මහතා පෙන්වා දෙයි. මෙම ගිවිසුම යුරෝ මුදල් ඒකකය පදනම් කරගත් ගිවිසුමක් බැවින් එකී ගිවිසුම කඩවන ආකාරයෙන් ඉදිරි කටයුතු ඇරඹීම ද බරපතළ ගැටලුවක් බව බද්දේගම මහතා වැඩිදුරටත් පැවසීය.

වර්තමානයේ රටේ ආර්ථික තත්ත්වය යහපත්වීම පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශ යහපත් වීමත් මත ඉදිරියේදී බොහෝ දුරට නැවත එම ණය ආධාර ක්‍රමය සක්‍රීය වීමට ඉඩ ඇති බව ද මාර්ග සංවර්ධන අධිකාරියේ ආරංචි මාර්ග පෙන්වා දෙයි. කුමන තත්ත්වයක් යටතේ වුවද කොළඹ හොරණ මාර්ගය, ගාලු පාර, නුගේගොඩ මාර්ගය ඔස්සේ කොහුවල මංසන්ධිය හරහා ගමන් කරන වාහනවලට මෙම ගුවන් පාලම ඉදිකිරීමේ කටයුතු අවසන්  නොවීම හේතුවෙන් දැඩි අපහසුතාවට ලක්වීමට සිදුව ඇතැයි පොලිසිය සහ ජනතාව පවසති.