කුරුණෑගල නගරයේ ප්‍රසිද්ධ මිශ්‍ර පාසලක ඉගෙනුම ලබන ළාබාල සිසුවියන් පිරිසක් ලිංගික අපයෝජනයට ලක්කිරීමේ සිද්ධියකට සම්බන්ධ එම පාසලේ සේවයේ නිරතව සිටි ඉංග්‍රීසි ගුරුවරයකු අත්අඩංගුවට ගත් බව කුරුණෑගල මූලස්ථාන පොලිසිය පවසයි.
සැකකාර ගුරුවරයා වැල්ලව ප්‍රදේශයේ නිවෙසක සැඟවී සිටියදී පොලිසියට ලද තොරතුරකට අනුව අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම අපයෝජන සිද්ධිය පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී පොලිසියට වාර්තා වී තිබුණි. ඒත් සමග ගුරුවරයා සේවයට පවා වාර්තා නොකර තැනින් තැන සැඟවෙමින් සිටි බව පොලිසිය සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් වයඹ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිලි සම්බන්ධයෙන් කෙරෙන විමර්ශන පිළිබඳව සෑහීමකට පත් නොවන බව දන්වමින් එම පාසලේ මවුපියන් සහ ආදි සිසුන් පිරිසක් එක්ව කුරුණෑගල දිස්ත්‍රික් ලේකම්වරයාට ද පැමිණිලි කර තිබුණි.
දිස්ත්‍රික් ලේකම්වරයාගේ උපදෙස් අනුව ළමාරක්ෂක අධිකාරියේ කුරුණෑගල දිස්ත්‍රිත් නිලධාරිනියන් විසින් කරන ලද විමර්ශනයකින් ද සැකකරු එම පාසලේ හයවන වසරේ ඉගෙනුම ලබන සිසුවියන් පස්දෙනෙකුගේ සිරුරු ස්පර්ශ කරමින් අපයෝජනයට ලක් කර ඇති බව අනාවරණය වී තිබුණි. විශ්‍රාම යාමට තවත් වසර එකහමාරක් පමණ ඇති අවුරුදු පනස් හතක් වයසැති අවිවාහක ගුරුවරයකු වන සැකකරු මෙම සිද්ධියෙන් අනතුරුව සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් මේ වන විට සේවය ද අත්හිටුවා ඇති බව වාර්තාවේ. පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී පාසලේ ඉංග්‍රීසි විෂයය උගන්වන අතරේදී අවස්ථා කිහිපයකදී එම ගුරුවරයා අතින් සිසුවියන් පිරිස අපයෝජනයට ලක්ව ඇත. එම සිසුවියන් ඒ පිළිබඳව තම මවුපියන්ට දැනුම් දීමෙන් අනතුරුව මෙම සිද්ධිය අනාවරණය වී තිබේ.
පාසලට මෙම සිද්ධිය නිසා අපකීර්තියක් ගෙන දෙතැයි පවසමින් විදුහල්පතිවරයා අපයෝජනයට ලක්වූ සිසුවියන්ට හා ඔවුන්ගේ මවුපියන්ට මෙම සිද්ධිය ප්‍රසිද්ධ නොකරන ලෙස දන්වා චුදිත ගුරුවරයා කුරුණෑගල අධ්‍යාපන කලාපයේම වෙනත් පාසලකට මාරුකර යැවීමට පියවර ගෙන තිබූ බවට ද මවුපියවරු සහ ආදි සිසුහු චෝදනා කළහ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ පිහිටි ළමා හා කාන්තා කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලයට ද පැමිණිලි කළ ද එයින්ද සාධාරණ පරීක්ෂණයක් සිදුව නැති බව සඳහන් කරමින් ඒ සම්බන්ධයෙන් මවුපියන් සහ ආදි සිසුන් කුරුණෑගල දිස්ත්‍රික් ලේකම්වරයාට සහ අවසානයේදී කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලයට ද පැමිණිලි කිරීමට පියවර ගෙන තිබුණි.
වයඹ පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ උපදෙස් අනුව කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සුජිත් වෙදමුල්ල මහතාගේ මෙහෙයවීමෙන් කුරුණෑගල මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරති.
(කුරුණෑගල - පුෂ්පකුමාර ජයරත්න)
0 Comments