බංග්ලාදේශය සමගින් පැවති තෙවැනි විස්සයි 20 තරගයේදී නුවන් තුෂාරගේ කඩුලු ත්‍රිත්වය තීරණාත්මක සාධයක් වූ බව ශ්‍රී ලංකා විස්සයි 20 කණ්ඩායමේ ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් පැවසීය. තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී හෙතෙම මේ බව පැවසීය.
"ලෝක කුසලානයක් ළඟ තියෙද්දී පන්දු යවන්නෙක් ඔහුගේ පෞද්ගලික පන්දු යැවීමේ හොද මට්ටමක ඉන්නවා කියන්නේ ඒක කණ්ඩායමටත් ලොකු දෙයක්. අවසන් තරගයේදී ඔහුට පුළුවන් උපරිම විදිහට අපේ කණ්ඩායමට දෙයක් දෙන්න පුළුවන් වුණා. ඔහුගේ කඩුලු ත්‍රිත්වය තමයි තරගයේ තීරණාත්මක සාධකය වුණේ.
මට මතක් වුණේ මාලි අයියා පන්දු යවපු විදිහ. ඒ ආකාරයට තමයි නුවන්ට තරගයේදී කඩුලු 3 ගන්න පුළුවන් වුණේ" යැයි හෙතෙම මෙහිදී පැවසීය.
කුසල් මෙම තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා මෙන්ම තරගාවලියේ වීරයා සම්මානයෙන්ද පිදුම් ලැබීය. මෙහිදී සිය පිතිහරඹය පිළිබදවද අදහස් දැක්වූ කුසල්,
"මම බංග්ලාදේශයත් සමගින් ගොඩක් තරග ක්‍රීඩා කරල තියෙනවා. මේ කඩුලු ශ්‍රී ලංකාවේ කඩුලු හා තරමක් සමානයි. ඒ වගේම හතරේ සීමාවන් එතරම් දුරකත් නෙමෙයි තිඛෙන්නේ ඒ නිසා මට බංග්ලාදේශයත් සමගින් ක්‍රීඩා කරන්න අමාරු නෑ.මම මේ තරගයට පෙර ක්‍රීඩා කරපු අවසන් 20 විස්ස තරග තුනේදීම වගේ එතරම් ලකුණු අතර හිටියේ නෑ. ඒ නිසා මට අවශ්‍ය කළේ ලකුණු අතරට එන්නයි." යනුවෙන් හෙතෙම පැවසීය.
මේ අතර තෙවැනි තරගයේදී සිලෙට් ක්‍රීඩාංගණයේ තණතිල්ල පිළිබඳව අදහස් දැක්වූ කුසල්,
අපි ක්‍රීඩා කරද්දී තණතිල්ල එක වේලාවකදී ඉපිලීමක් තිබෙන හා නොතිබෙන ලෙස ආකාර දෙකකින්ම හැසිරුණා. නමුත් ක්‍රීඩාංගණයේ ලයිට් දැම්මාත් එක්කම පිතිකරුවන්ට වඩාත් යෝග්‍ය ලෙස හැසිරුණා. අපි ඔවුන්ගේ කඩුලු ලබා ගත්තත් ඔවුන් වැඩි ලකුණු ප්‍රමාණයක් රැස් කළේ ඒ නිසායි." යනුවෙන් පැවසීය.මේ අතර මෙම තරගයේදී කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයන් අතර උණුසුම් වචන හුවමාරුද මෙම තරගයේදී සිදුවිය. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු නවීඩ් නවාස් පැවසුවේ පිටියේදී ක්‍රීඩකයන් ආක්‍රමණශීලීව ක්‍රීඩා කරන විට මෙවැනි සිදුවීම් සාමාන්‍ය වුවත් ඉන් ඉවතට එය ගෙන යාම සිදු නොකළ යුත්තක් බවයි."ක්‍රීඩකයන් පිටියේදී ක්‍රීඩා කරන කොට ඔවුන් අතර හැඟීම් හුවමාරු වෙන්න පුළුවන්, නමුත් ඒක එතනදි විතරයි. පිටතදි ඔවුන් හොද යාළුවො. නමුත් ක්‍රීඩාංගණයේදිත් අපි විනය තබාගත යුතුයි." යනුවෙන් පැවසීය.මේ අතර තරගයෙන් අනතුරුව අදහස් දැක්වූ බංග්ලාදේශ නායක නජ්පුල් හොසේන් ෂාන්තෝද පැවසුවේ නුවන්ගේ පන්දු යැවීමේ ඉතා විශිෂ්ට මට්ටමක පැවති බවයි.
ඕෂිත වරකපිටිය
0 Comments