පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුකළ පුද්ගලයන් දන්නා බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ දැඩි ආන්දෝලනාත්මක ප්‍රකාශයට අදාළව ඔහුගෙන් ඊයේ (25) පැය හයකට ආසන්න කාලයක් දීර්ඝ ලෙස ප්‍රශ්න කර ප්‍රකාශ රහස් පොලිසිය මගින් ලබාගෙන තිබේ.
පෙරවරු 10.30ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගොස් ඇත්තේ සවස 3.50ට පමණය.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එහි පසුපස දොරටුවෙන් ඇතුළු වී ඇති මෛත්‍රීපාල සිරිසේන මහතා සාමාන්‍ය ලෙස ප්‍රශ්න කිරීමට මුහුණ දුන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු සඳහන් කළේය.
සහකාර පොලිස් අධිකාරීවරයකු ඉදිරිපිට පොලිස් පරීක්ෂක ශ්‍රේණියේ නිලධාරියකු විසින් ප්‍රකාශය සටහන්කරගෙන ඇති අතර හරස් ප්‍රශ්න ද එහි දී අසා ඇත. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මෙම ප්‍රකාශයට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීමට රහස් පොලිසියේ පෙනී සිටින ලෙස පෙරේදා සිදු කරන ලද දැනුම් දීමක් මත රහස් පොලිසිය හමුවේ පෙනී සිටියේය.
මෛත්‍රීපාල සිරිසේන මෙහිදී පවසා ඇත්තේ පාස්කු ප්‍රහාරය එල්ල කළ බව කියන සැබෑ අපරාධකරුවන් ගැන තමාට දැන ගන්නට ලැබුනේ සති තුනකට පමණ පෙර බවය. තමාට තොරතුරු ලබාදුන් අය කවුරුන්දැයි පැහැදිලිවම හෙළිකිරීමක් ඔහු විසින් සිදුකර නැත. ම
ෙහි දී මෛත්‍රීපාල සිරිසේන විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් ප්‍රකාශයේ අන්තර්ගතයෙන් කියැවෙන තොරතුරු සම්බන්ධයෙන් නැවත සොයා බැලීමක් කර නීතිපතිවරයාගේද උපදෙස් අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව පොලිසිය සඳහන් කළේය.
මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ලබාගත් ප්‍රකාශය සම්බන්ධයෙන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වූ ඉදිරි නඩු දිනයකදී අධිකරණයට කරුණු දැක්වීමටද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සූදානමින් සිටින බව ආරංචි මාර්ග සඳහන් කළේය.
සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයන් ඇතුළු සැලකිය යුතු පිරිසක් රහස් පොලිසියේ ප්‍රධාන දොරටුව ආසන්නයේ රැඳී සිටි බව එහි ආරක්ෂක කටයුතුවල නිරතව සිටි පොලිස් නිලධාරීහු කීපදෙනෙක්ම පැවැසූහ. පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් සත්‍ය වශයෙන්ම තමා දන්නා බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත් විසි දෙවැනිදා මහනුවරදී පැවැති උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යයට ප්‍රකාශයක් කරමින් සඳහන් කර තිබිණි.
හිටපු ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය සමාජයේ දැඩි ආන්දෝලනයකට තුඩුදුන් අතර මේ ගැන වහාම විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට උපදෙස් දී තිබූ අතර ඒ අනුව පොලිස්පතිවරයා විසින් එම ප්‍රකාශය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කරගන්නා ලෙස රහස් පොලිසියට නියෝග කර තිබිණි. ඒ අනුව හිටපු ජනාධිපතිවරයා ඊයේ රහස් පොලිසි හමුවේ පෙනී සිටි අතර, ඔහු රහස් පොලිසියට යනු ලැබුවේ නීතිඥ සංදිප්ත සූරියආරච්චි මහතාද සමගිනි.
0 Comments