තේවලට කෘත්‍රිම රසකාරක එකතු කිරීමේ සිද්ධියක් පදනම් කරගෙන අකුරැස්ස කියාඩුව බලගල තේ කර්මාන්තශාලාවේ බලපත්‍රය මාස හතරකට අත්හිටවූ බව ශ්‍රී ලංකා තේ මණ්ඩලය පවසයි.තේ කොමසාරිස් කේ.ඒ.එම්. ජයවර්ධන මහතා පිළිබඳව එම තේ කර්මාන්තශාලාවේ හිමිකරුට ලිඛිතව දන්වා ඇත.එම කර්මාන්ත ශාලාවේ කළු තේවලට මෝල්ටොඩෙක්ස්ට්‍රින් (Maltodextrin) මිශ්‍ර කිරීමෙන් තේ පනතේ විධිවිධාන සහ චක්‍රලේඛ උල්ලංඝනය කර ඇති බව

තේ මණ්ඩලය සඳහන් කරයි.ඒ අනුව, තේ පාලන පනතේ බලතල ප්‍රකාරව ඉකුත් ජනවාරි 31 වැනිදා සිට ලබන මැයි 30 වැනිදා දක්වා එම කර්මාන්තශාලාවේ ලියාපදිංචිය අත්හිටුවා ඇත. ලෝක වෙළෙඳපොළේ කළු තේවලට ඉහළ ඉල්ලුමක් පවතින හෙයින්, තේවල කළු පැහැය වැඩි කිරීම හා බර වැඩි කරගැනීම සඳහා කෘත්‍රිම රසකාරක මේ ආකාරයට යොදන බවත්,

එවැනි ක්‍රියා හේතුවෙන් ජාත්‍යන්තරයේ විශ්වාසය පළුදු වී, සිලෝන් ටී නාමය විනාශ වන බවත් කියති.එම තේ කර්මාන්ත ශාලාව සම්බන්ධයෙන් ගත් තීරණය පිළිබඳව තේ කොමසාරිස්වරයා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරයාට ද, ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපතිවරයාට සහ කොළඹ තේ තැරැව්කරුවන්ගේ සංගමයට ද දැනුම් දී ඇත.

ක්‍රිෂාන් ජීවක ජයරුක්