meewanapalane-thera-issue

මීවනපලානේ සිරිධම්මාලංකාර නම් භික්ෂු ප්‍රතිරූපකයා ථෙරවාදී පාලි ත්‍රිපිටකය සම්බන්ධයෙන් සාවද්‍ය මතවාද ප්‍රචාරය කරමින් බුද්ධ චරිතය හා ත්‍රිපිටකාගත බෞද්ධ ඉගැන්වීම් විකෘති කරමින් බරපතළ ශාසන විනාශයක් හා සමාජ අර්බුදයක් නිරිමාණය කිරීමේ කුමන්ත්‍රණකාරී කටයුත්තක නියැළී සිටින බැවින් ඔහු සම්බන්ධයෙන් වහාම ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ත්‍රෛනිකායික මහනාහිමිවරු ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකරමින් දන්වා සිටිති.

තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මල්වතු මහනාහිමි, වරකාගොඩ ශ්‍රී ඥානරතන අස්ගිරි මහානාහිමි, කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහානාහිමි, මකුලාවේ ශ්‍රී විමල රාමඤ්ඤ මහ නිකායේ මහානාහිමියන්ගේ අත්සනින් යුතුව ජනාධිපතිවරයා වෙත යොමුකර ඇති එම ලිපියේ මෙසේද සඳහන් වේ.

ථෙරවාදි පාලි ත්‍රිපිටකය සම්බන්ධයෙන් සාවද්‍ය මතවාද ප්‍රචාරය කරමින්, බුද්ධ චරිතය හා ත්‍රිපිටකාගත බෞද්ධ ඉගැන්වීම් විකෘති කරමින් බරපතළ ශාසන විනාශයක් හා සමාජ අර්බුදයක් නිර්මාණය කිරීමේ කුමන්ත්‍රණකාරී කටයුත්තක නියැලී සිටින මීවනපලානේ සිරිධම්මාලංකාර නමින් පෙනී සිටින භික්‍ෂු ප්‍රතිරූපකයා පිළිබඳ අවස්ථා ගණනාවකදී අප විසින් ජනාධිපතිතුමන් ඇතුළු වගකිව යුතු අංශ දැනුවත් කර ඇත.



සාමණේර භික්‍ෂු ලියාපදිංචිය ද අවලංගු කොට නිකාය පාර්ශ්වයෙන් නෙරපා හැර ඇති මොහු තවදුරටත් භික්ෂුවක ලෙස පෙනී සිටීම හේතුවෙන් නීති විරෝධී ක්‍රියාවක වරදකරු වන බව විහාර දේවාලගම් ආඥා පනතේ 42 වගන්තිය අනුව ද පැහැදිලි වේ.එවැනි පසුබිමක් තුළ තවදුරටත් බුදුදහම පිළිබඳ සාවද්‍ය අර්ථ විවරණ සපයමින් බුද්ධ චරිතය විකෘති කරමින් ථේරවාදි පාලි ත්‍රිපිටකය පිළිබඳ සාවද්‍ය හා අපහාසාත්මක මතවාද ජනගත කරමින් කටයුතු කිරීමට මෙම පුද්ගලයාට ඉඩ ප්‍රස්ථාව ලැබී තිබීම විමතියට කරුණකි.

භික්‍ෂුවකට හිමි සමාජ ගෞරවය හා ප්‍රත්‍ය පහසුකම් වංචනිකව පරිභෝග කරමින් රාජ්‍ය නිලධාරීන් ඇතුළු ගිහි - පැවිදි පිරිස් නොමග යවමින් බෞද්ධ සමාජය තුළ ගැටුම් නිර්මාණය කරමින් ලාංකේය භූ දේශපාලන ව්‍යුහය පිළිබඳව ද සාවද්‍ය මතවාද ජනගත කරමින් සම්බුද්ධ ශාසනය විනාශ කිරීමේ මෙන්ම රාජ්‍ය අස්ථවර කිරීමේ දීර්ඝ කාලීන කුමන්ත්‍රණයක මෙම පුද්ගලයා නිරතව සිටින බව මේ වනවිට අනාවරණය වී ඇත.

සම්බුද්ධ චරිතය පිළිබඳවත් පාලි ත්‍රිපිටකය පිළිබඳවත් මොහු විසින් ඉදිරිපත් කරනු ලබන මිථ්‍යා මතවාද හා එහි සමාජ බලපෑම පහත පරිදි සම්පිණ්ඩනය කළ හැකිය.

1. සම්බුදු චරිතය පිළිබඳ භාරතයේ පවතින ස්ථාන නාම සාවද්‍ය හා අශාස්ත්‍රීය ලෙස ලංකාවේ ප්‍රසිද්ධ සිද්ධස්ථාන ලෙස අරුත් ගන්වමින් බෞද්ධ ජනයා නොමග යැවීම හා බෞද්ධ සමාජය තුළ සමගියට බාධා පමුණුවමින් බෞද්ධයන් අතර ගැටුම් නිර්මාණය කිරීම.

2. ධර්ම දේශනා කිරීමේ මුවාවෙන් බුදු දහමේ මූලික ඉගැන්වීම් පිළිබඳ විකෘත අර්ථකථන සිදු කිරීම.




3. ශ්‍රී ලාංකේය ශාසන භාරධාරී මහ තෙරවරුන් විසින් ජීවිතය පරිත්‍යාගයෙන් ආරක්‍ෂා කොට ජාතික උරුමයක් ලෙස නම් කොට ඇති ශ්‍රී ලංකා ජනරජය මගින් 2500 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නිමිතිකොට ප්‍රකාශයට පත්කරන්නට යෙදුණු බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලාව නිවැරදි ත්‍රිපිටකය නොවන බවත් නිවැරදි ත්‍රිපිටකය තමන් එංගලන්තයෙන් ගෙනා බවත් ප්‍රකාශ කරමින් බෞද්ධ ලෝකය වංචනික ලෙස නොමග යැවීම.


4. තමන් සිවු පිළිසිඹියා පත් අරහතන් නමක ලෙස ප්‍රකාශ කරමින් මහජනතාව නොමග යවමින් නොයෙක් වරදාන වරප්‍රසාද භුක්ති විඳිමින් ශ්‍රී සම්බුද්ධ දේශනාවන්ගේ උතුම් දාර්ශනික හර පද්ධතීන් විනාශ කිරීම හා අරහත් සංකල්පය සමාජය තුළ හාස්‍යයට හා උපහාසයට ලක් කිරීම.

5. සිදුහත් කුමාරොත්පත්තියෙන් අනතුරුව මහාමායා දේවිය ලිංග විපර්යාසයකට ලක්වූ බව වැනි විකෘත මත ප්‍රකාශ ඉදිරිපත් කරමින් බුද්ධ චරිතය අවමානයට පත් කිරීම.

6. යුනේස්කෝ ලෝක උරුම ප්‍රකාශයට පත් කර ඇති ලුම්බිනිය, බුද්ධගයාව, බරණැස වැනි ස්ථාන පිළිබඳ මෙන්ම ලංකා ද්වීපය තුළ පිහිටි ශ්‍රී මහා බෝධිය, රුවන්වැලි මහාසෑය වැනි ලෝක බෞද්ධයන්ගේ වන්දනීය ස්ථානයන්ගේ පිහිටීම පිළිබඳ සාවද්‍ය අර්ථ විවරණ සපයමින් බෞද්ධ ලෝකය තුළ ථේරවාදි ධර්ම කොෂ්ටාගාරය ලෙස ලංකාව පිළිබඳ පවතින විශ්වාසය පළුදු කිරීම හා ලක්දිව පුරාවිද්‍යාත්මක ස්ථාන පිළිබඳ සාවද්‍ය මතවාද ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පිළිබඳ සමාජය තුළ වෛරයක් ගොඩනැගීම.


7. බෞද්ධ සම්මතයන් හා චාරිත්‍රයන් විවේචනය කරමින් සංඝ සමාජයේ පරිපාලන ව්‍යුහය පිළිබඳ අපහාසාත්මක හා සමාජය නොමග යවන ප්‍රචාර සිදුකරමින් භික්‍ෂුව හා මහජනතාව අතර විරසක භාවයක් නිර්මාණය කිරීම.

මේ වන විට ස්ත්‍රී දූෂණ චෝදනා ඇතුළු සාපරාධි අපරාධ ගණනාවක් පිළිබඳ චෝදනා ලැබ ඇති මෙම තැනැත්තා සිරිසේන හපුතන්ත්‍රී යන අනන්‍යතාව භාවිත කරමින් රජයේ විශ්‍රාම වැටුප ද ලබා ගනිමින් විවිධ නාමයන්ගෙන් පෙනී සිටිමින් චේතනාන්විතව මහජනතාව රැවටීමේ කුමන්ත්‍රණයක නිරතව සිටින බවත් බුද්ධ ශාසනය විනාශ කිරීමේ පටු ආරමාර්ථයෙන් කටයුතු කරන සංවිධානාත්මක කණ්ඩායම් මෙම තැනැත්තා විසින් සිදුකරනු ලබන ධර්ම විකෘතීන්ට අනුග්‍රහ දක්වමින් දැවැන්ත මුදල් සම්භාරයක් මොහු වෙත ලබා දෙන බවටත් කරුණු හෙළි වෙමින් පවතී.

පරම නිබ්බාන නමින් ආයතනයක් පිහිටුවාගෙන සාවද්‍ය විකෘත ධර්ම කරුණු ප්‍රචාරය කරමින් එම ස්ථානයට පැමිණෙන උපාසක උපාසිකාවන් නොමග යවමින් මුදල් ලබාගෙන පෞද්ගලික දේපළ මිලදී ගෙන සිය දරුවන්ට ලබාදීම පිළිබඳව ද මේ වනවිට කරුණු අනාවරණය වී ඇත.බරපතළ ශාසන විනාශයක් මෙන්ම ලාංකේය භූ දේශපාලන අධිකාරිය සම්බන්ධයෙන් සාවද්‍ය ඉතිහාසයක් ගෙන හැර දක්වමින් සමාජ ගැටුම් නිර්මාණය කිරීමට කටයුතු කරන විවිධ සාපරාධී අපරාධ පිළිබඳව ද චෝදනා ලැබ සිටින මෙම පුද්ගලයා පිළිබඳ අදාළ අංශ තවදුරටත් නිද්‍රාශීලි ක්‍රියාපිළිවෙතක් අනුගමනය කිරීම පිළිබඳ අපගේ දැඩි අප්‍රසාදය පළකර සිටිමු.

එහෙයින් රටෙහි ජාතික ආරක්ෂාවට ද තර්ජනයක් ගෙන දෙමින් චිරාත් කාලයක් පැවැති සමාජ හරපද්ධතීන් හා විශ්වාස පද්ධතීන් පිළිබඳ සමාජය තුළ කුකුසක් නිර්මාණය කරමින් සාම්ප්‍රායික දැනුම් පද්ධතිය විනාශ කිරීමේ කුමන්ත්‍රණයෙහි නිරත මීවනපලානේ සිරි ධම්මාලංකාර, පන්සල්හේනේ ධම්මාලංකාර හා පන්සල්හෙනේ ධම්මික යන අනන්‍යතාවන්ගෙන් පෙනී සිටිමින් චෞර භාවයෙන් භික්‍ෂු වේශධාරීව චීවරය අවභාවිත කරමින් කටයුතු කරන සිරිසේන සපුතන්ත්‍රී නම් මෙම පුද්ගලයාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන ලෙස මෙයින් දන්වා සිටින අතර එය බුදු දහම සුරක්‍ෂිත කොට පෝෂණය කිරීමේ වගකීමෙන් බැඳී සිටින ශ්‍රී ලංකා ජනරජයේ පරම යුතුමක් වන බව ද මෙහිලා සිහිපත් කර සිටිමු.

 ජේ.ඒ.එල්. ජයසිංහ