mk-agro-industries

කැබිනට් අමාත්‍යවරයකුගේ බිරිඳක විසින් කුරුණෑගල මාඑළිය ප්‍රදේශයේ පවත්වා ගෙන යන එම්. කේ ඇග්‍රෝ ඉන්ඩස්ට්‍රිස් නමින් හඳුන්වන සතුන් රැක බලාගැනීමේ මධ්‍යස්ථානයකට මීට දස වසරකට පෙර අධිකරණ නියෝග මත ලබා දුන් එළ ගවයින් හයදෙනා අයිතිකරුට බාරදීම සඳහා වහාම අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස තඔුත්තේගම මහේස්ත්‍රාත් බුද්ධික මල්වත්ත පොලිස්පතිවරයාට නියෝග කළේය.

මෙම සිද්ධියට අදාළ නඩුව තඔුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේ නීතිඥ ලෙව්කේ බංඩාර පැවසුවේ මෙම එළ ගවයින් හයදෙනා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අවස්ථා ගණනාවකදී ලබාදුන් නියෝග තඔුත්තේගම පොලිසිය විවිධ හේතු කියමින් මග හරිමින් සිටින බවය.



එමෙන්ම මෙම එළ ගවයින් හය දෙනා රාජ සන්තක කිරීමට හෝ අයිතිකරුට බාරදීමට අධිකරණය නියෝග කරන ඕනෑම අවස්ථාවක අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවට සතුන් රැක බලාගැනීමේ මධ්‍යස්ථානයේ සභාපති අයිරාංගනී ද සිල්වා නැමැත්තිය විවෘත අධිකණයට කැඳවා මීට පෙර නියෝග කළද එයද ඇය විසින් කඩ කර ඇති බවට නීතිඥවරයා එහිදී චෝදනා කළේය.

එමෙන්ම එළගවයින් හය දෙනා අධිකරණ නියෝග මත අදාළ සතුන් රැක බලාගැනීමේ මධ්‍යස්ථානයට භාර දුන් අවස්ථාවේ එම ආයතනයේ සභාපති අයිරාංගනී ද සිල්වා යන අය සතුන් හොඳින් රැක බලාගන්නා බවටත් ඕනෑම අවස්ථාවක අධිකරණයට ඉදිරිපත් කරන බවටත් ලිපියක් අත්සන් කරමින් අධිකරණයට සහතික වී තිබේ.

උපාලි ආනන්ද - අනුරාධපුරය