nagananda-lawyerhood

විනිවිද පෙරමුණේ මහලේකම් නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා නීතිඥ වෘත්තියට නුසුදුසු ආකාරයට හැසිරීමේ චෝදනාවට වරදකරු බව තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය නාගානන්ද මහතා නීතිඥ වෘත්තියෙන් නෙරපීමට ඊයේ (29) නියෝග කළේය.විනිසුරුවරුන් අපහසුතාවට පත්වන ආකාරයෙන් කටයුතු කරන නාගානන්ද මහතා නීතිඥ වෘත්තියට නුසුදුසු බවට චෝදනා කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බලා නීතිඥ වෘත්තීයෙන් නෙරපීමේ තීන්දුව ප්‍රකාශයට පත් කළේය.



ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රියන්ත ජයවර්ධන, එස්. තුරෙයිරාජා, ප්‍රීති පද්මන් සූරසේන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ පැමිණිල්ල සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය නාගානන්ද මහතා නීතිඥ වෘත්තියට නුසුදුසු ආකාරයෙන් හැසිරෙන ලදැයි චෝදනා පත්‍රයක් ඉදිරිපත් කළේය. අධිකරණය හමුවේ නඩු විභාග වෙමින් තිබිය දී විනිසුරුවන්ට බාධාවන ආයුරින් කටයුතු කිරීම, අගවිනිසුරු ධූරය අපහසුවට පත්වන ආකාරයේ කටයුතු කිරීම,

2014 වසරේ දී ශ්‍රේෂ්ඨාධිකරණයට දිවුරුම් ප්‍රකාශයක් නිකුත් කරමින්, විනිසුරුවරුන් කිහිපදෙනකු හමුවේ තමා විසින් ගොනුකරන නඩු කටයුතු ඔවුන් හමුවේ කැඳවීමට පියවර නොගන්නා ලෙස

ඉල්ලීමක් කර විනිසුරුවරුන් අපහසුතාවට පත් කිරීම ඇතුළු චෝදනා විත්තිකාර නාගානන්ද මහතාට ඉදිරිපත් කර තිබිණි. එකී ක්‍රියා මගින් නාගානන්ද මහතා නීතිඥ වෘත්තියට නුසුදුසු බවට විනිසුරු මඩුල්ල සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් පෙන්වා දුන්නේය.ඒ අනුව නාගානන්ද කොඩිතුවක්කු මහතාගේ නීතිඥභාවය අහෝසි කිරීමට තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඒ බව වහාම අදාළ අංශවලට දැනුම් දීමට පියවර ගන්නා ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛකාධිකාරීවරයාට දැනුම් දුන්නේය.

රන්ජන් කටුගම්පොළ