nithyawani-speaks

2000 වසරේදී ආචාරිය සෝමරත්න දිසානායක මහතා – අධ්‍යක්ෂණය කළ ‘සරෝජා' චිත්‍රපටයේ ‘පුංචි සරෝජා' ගේ චරිතය නිරූපණය කළ දමිළ දැරිය ඔබට කවදාවත් අමතක කරන්න බැරි බව නම් නොරහසකි. ඒ තරමට එහි එකට රඟපෑ පුංචි දැරියන් දෙදෙනා කාගේත් මතකයේ රැඳී තිබේ.


එහි සිංහල තරුණිය වන ප්‍රමුදි කරුණාරත්න ද අද විවාහ වී, මවක ලෙස ජීවිතය ගෙන යන්නීය. මේ පවසන්නේ, දමිළ දැරිය වන නිත්‍යවානි කන්දසාමී පිළිබඳවය. අද දවසේදී ඇය ද විවාහ වී සිටින. අතර, වෛද්‍යවරියක ලෙසින් කාගේත් සිත් දිනා ගැනීමට සමත් වී සිටින්නීය. වෛද්‍ය උපාධිය හදාරා මුල්ම පත්වීම කළුතර ශික්ෂණ රෝහලේ සීමාවාසික වෛද්‍ය නිලධානියක ලෙස කටයුතු කළ ඇය, අද මේ වන විට ගම්පොළ මූලික රෝහලේ වෛද්‍ය නිලධාර්නියක ලෙස කටයුතු කරන්නීය.එදා පුංචි සරෝජා වූ නිත්‍යවානි දැන් රංගනයෙන් ඈත් වෙලා ද? පසු කලෙක දමිළ නිවේදිකාවක ලෙසින් පුංචි තිරයේ කටයුතු කළ මේ සොදුරු රුවැති වෛද්‍යවරිය දැන් ඒ නිවේදන කටයුතු සිදු කරන්නේ නැද්ද? අපි විමසුවෙමු.

 කළුතර ශික්ෂණ රෝහලේ ඉඳලා දැන් ගම්පොළ මූලික රෝහලට ගියා කියලා ආරංචියි. ඇත්ත ද ඒ කතාව?



“ඔව්. සීමාවාසික කාලයේ තමයි මම කළුතර ශික්ෂණ රෝහලේ හිටියේ. දැන් මාසයක් වෙනවා ගම්පොළ රෝහලට ඇවිත්, සීමාවාසික ඉවර වෙලා පළමු වරට ලැබෙන SHO තනතුරේ ඉන්නේ. එහි මෙඩ්සන් වෝඩ් එකේ ඉන්නේ.” • ඔයා පුංචි කාලයේ ‘සරෝජා’ චිත්‍රපටයේ රඟපෑවේ.


දැන් වෛද්‍යවරියක ලෙස සිටිද්දී ඒ පිළිබදව ආපස්සට හැරී බලද්දී මොකද හිතෙන්නේ?


* ‘සරෝජා' චිත්‍රපටයේ රඟපාද්දී මම පාසලේ 1 වසරේ හිටියේ. 2000 වසරේදී තමයි ඒ චිත්‍රපටය කළේ. තවමත් ප්‍රේක්ෂකයන් තුළ ඒ චිත්‍රපටයේ මතකය තිබෙනවා. ඒ ගැන හරිම සතුටුයි.”




• රෝහලේදී ලැඛෙන ප්‍රතිචාර කොහොම ද?


“අපේ බැව් එකේ හිටපු අයට අඳුරගන්න පුළුවන්, හැමෝම ඉස්සර වගේ ගොඩක් අඳුරගන්නේ නැති වුණාට කොහොම හරි කට්ටිය හඳුනාගෙන කතා කරනවා. එයාලාට ගොඩක් සතුටුයි මම මෙහෙම වෛද්‍යවරියක් ලෙස ඉන්න එක ගැන. මටත් සතුටුයි මාව මතක තියාගෙන කතා කරනවාට.”


• සරෝජා චිත්‍රපටයේ රඟපාන කාලයේ ඉඳලාම ඔයා

වෛද්‍යවරියක් වෙන්න සිතුවා ද?


“පුංචි කාලයේ එහෙම අදහසක් බුණේ නෑ, පොඩ්ඩක් ලොකු වෙනකොට තමයි සිතුණේ. ඊට පස්සේ ඒ වෙනුවෙන් මහන්සි වුණා. දැන් ඉතින් සතුටුයි.”


• ඒ හින්දා ද රඟපෑමෙන් අයින් වුණේ?


“මම චිත්‍රපට 2ක විතරයි රඟපෑවේ. ඒ, ‘සරෝජා' සහ 'පුංචි සුරංගනාව', මේ දෙකම කළේ ආචාර්ය සෝමරත්න දිසානායක මාමා, ඊට පස්සේ පුංචි තිරයේ ළමා නිවේදිකාවක් විදිහට කටයුතු කළා.”


• ඔයා නිවේදිකාවක් විදිහට ලොකු වුණාමත් පුංචි තිරයේ කටයුතු කළා නේද? '


ඔව්. 'පුංචි පැචි' සිරසේ කළා. එහි දමිළ නාළිකාව වන ශක්ති TV එකේ 'පුංචි පැචි’ එකේ දමිළ වැඩසටහන මම 9 වැනි ශ්‍රේණිය දක්වාම කළා. ඉන් පස්සේ ටික කාලයක් ස්වාධීන රූපවාහිනියේ දමිළ නාළිකාව වන වසන්තම් TV එකේ වෛද්‍යවරුන් සමග සාකච්ඡා කරන වැඩසටහනක් කළා. එය කළේ වෛද්‍ය ශිෂ්‍යාවක් ලෙස සිටි කාලයේ.”


• සෝමරත්න මාමයි, රේණුකා නැන්දයි ඊට පස්සේ චිත්‍රපටවලට ඔයාට කතා කළේ නැද්ද?


“චිත්‍රපටවලට කතා කළේ නෑ. ඒත් සාමාන්‍යයෙන් කතා කරනවා. සැප දුක් ව්මසනවා. හර්ම සතුටුයි ඒ දෙන්නට මම මේ ඉන්න තැන ගැන. මාත් එයාලාට හරිම ආදරෙයි.”


• චිත්‍රපටයේ එකට රඟපෑ ඔයාගේ යාළුවා

ප්‍රමුදි දැන් කතා කරන්නේ නැද්ද?


“කතා කරනවා. හැමදාම නැති වුණත් නිතර කතා කරමින් දුක සැප විමසනවා. එයාත් දැන් විවාහ වෙලා අම්මා කෙනෙක්. ඒත් එදා වගේම අදටත් අපි හොඳ යාළුවෝ.”




• ගෙදරින් හරි සතුටු ඇති නේද ඔයා මෙවැනි තැනකට ඒම ගැන?


 "ඇත්තෙන්ම ඔව්. එයාලාට ගොඩාක් සතුටුයි. අම්මයි තාත්තයි මල්ලියි මට ඉන්නේ, මල්ලි දැන් රැකියාවක් කරනවා. අම්මා දුර ඉන්නේ. තාත්තා ව්‍යාපාරික කටයුතුවල නිරත වෙලා ඉන්නේ."


• ඔයා විවාහ වුණා නේද?


*ඔව්. දැන් අවුරුදු 4ක් විතර වෙනවා. එයා බැංකුවක සේවය කරන්නේ. එයාලා ඔක්කොම කොළඹ ඉන්නේ. මම විතරයි ගම්පොළට ආවේ. එයාලා සතියෙන් සතියට මාව බලන්න එනවා.”


• ගම්පොළ රෝහලට එන විට එහෙ අය ඔයාව හදුනා ගත්තා ද කවුද කියලා?


“ඔව්. මම එන විටම එයාලා මම ගැන දැනගෙන ඉඳලා තිඛෙන්නේ. එයාලටත් හරීම සතුටුයි. මා එක්ක ඇවිත් කතා කරනවා.”


• ඔයා ශල්‍ය වෛද්‍ය කියලා සමහරු ප්‍රචාරය කරලා තිබුණේ. ඒක වැරැදියි නේද?


“අනේ ඔව්. මම තවම පටන්ගත්තා විතරයි. එයාලා වැරැදියට දාලා තියෙන්නේ. මම විශේෂඥ වෛද්‍යවරියක්වත් නොවෙයි. ඒවාට විභාග කරන්න තිබෙනවා. දැන් ඉතින් පටන්ගන්න ඕනෑ, කරනවා නම්.”


• ආපහු රඟපාන්න අදහසක් නැද්ද ඔයාට?


"කතා කළොත් රඟපාන්න එනවා. රූපවාහිනී වැඩසටහන් වුණත් කරන්න පුළුවන්. මට විවේක වෙලාවට ඒ දේවල් කරන්න පුළුවන්. ඉදිරියේදී බලමු නේද?”

(සමන්ත යහම්පත්)