oic-banner-boralesgamuwa

මාර්ගයක් සම්බන්ධයෙන් පවතින ආරවුලකට ප්‍රතිවිරුද්ධ පාර්ශ්වය නොමඟ යැවීම සදහා නිසි අවසරයකින් තොරව බොරලැස්ගමුව පොලිස් ස්ථානාධිපතිවරයාගේ තනතුර සදහන් කරමින් නීති විරෝධී අයුරින් ඇළ මාර්ගයක් අසල දැන්වීමක් ප්‍රදර්ශනය කළ කෝටිපති ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගත් බව බොරලැස්ගමුව පොලිසිය කියයි.

බොරලැස්ගමුව, රත්තනපිටිය ප්‍රදේශයේ පිහිටි පහත් බිම් සංවර්ධනය කිරීම් හා ගොඩකිරීම් අමාත්‍යාංශයට අයත් ඇළ මාර්ගයක් හරහා තිබෙන මාර්ගයක් වෙනුවෙන් සැකකාර කෝටිපති ව්‍යාපාරිකයා සහ තවත් පාර්ශ්වයක් අතර දීර්ඝ කාලයක සිට ආරවුලක් පවතින අතර සැකකරු විසින් ඊට අදාළව පැමිණිල්ලක් ද සිදු කර තිබූ බව පොලිසිය සඳහන් කළේය.



එකී පැමිණිල්ල පෙරේදා (5) විභාග කිරීමට නියමිත වුවත් පැමිණිල්ල පොලිසියට ඉදිරිපත් කරන ලද කෝටිපති ව්‍යාපාරික සැකකරු හිතාමතා එය මගහැර තිබූ බවත් පැමිණිල්ලට අදාළව පොලිසියේ දැනුම් දීම පරිදි ප්‍රතිවිරුද්ධ පාර්ශ්වය පොලිසියට පැමිණ පැය කිහිපයක් සැකකරු එන තෙක් බලා සිට අපහසුතාවට පත්වූ බවත් පොලිසිය සඳහන් කළේය.

එලෙස පොලිසියේ රැඳී සිටි ප්‍රතිවිරුද්ධ පාර්ශවයේ අයකු අනතුරුව ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමේධ විමල ගුණරත්න මහතා හමුවට ගොස් ඔබතුමා ඇළ රක්ෂිතය අසල දැන්වීමක් ප්‍රදර්ශනය කළේ දැයි විමසා සිටීමේ දී තමන් එවැනි දැන්වීමක් ප්‍රදර්ශනය නොකළ බවට පැවසීමෙන් පසුව ජංගම දුරකථනයෙන් ලබාගත් ඡායාරූපයක් ස්ථානාධිපතිවරයා හමුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරනු ලැබීය.

(දැන්වීමයි ඇල රක්ෂිතයේ මාර්ග අයිතිය වෙනුවෙන් නීතිමය කටයුතු කර ඇති බව දන්වමි.

ඕ.අයි.සී.පොලිස් ස්ථානය බොරලැස්ගමුව 278/11 පැමිණිලි අංකය) යනුවෙන් තමන්ගේ අනුදැනුමකින් තොරව අවසරයක් ද නොමැතිව එහි සටහන් කර ප්‍රදර්ශනය කර තිබීම සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කළ ස්ථානාධිපතිවරයා, සිය නිල කාමරයට පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු කැඳවා ඇළ රක්ෂිතයේ අනවසරයෙන් ප්‍රදර්ශනය කර ඇති දැන්වීමත් රැගෙන, එම දැන්වීම ප්‍රදර්ශනය කළ සැකකරු වහා අත්අඩංගුවට ගෙන පොලිසියට රැගෙන එන ලෙස නියෝග කළේය.

ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් රත්තනපිටිය ජී.එස්. පෙරේරා මාවතේ ඇළ මාර්ගය අසල නීතිවිරෝධී ලෙස ප්‍රදර්ශනය කර තිබූ දැන්වීම පොලිස් බාරයට ගෙන සැකකාර ව්‍යාපාරිකයාගේ නිවසට ගොස් ඔහු අත්අඩංගුවට ගත් බව පොලිසිය කීය.

59 හැවිරිදි සැකකරු අන් අයෙකු ලෙස පෙනී සිටීමේ චෝදනාව යටතේ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරන බව පොලිසිය කීය. බොරලැස්ගමුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමේධ විමලගුණරත්න මහතාගේ උපදෙස් මත පොලිස් කොස්තාපල් (74137) බණ්ඩා මහතා පරීක්ෂණ පැවැත්වූ අතර පොලිස් කොස්තාපල් (92526) ප්‍රසාද් මහතා සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමේ කටයුතු කළේය.