“ඔන්මැක්ස් ඩී.ටී.“ නමැති නීතිවිරෝධී පෞද්ගලික මුල්‍ය ආයතනයේ සභාපතිවරයාගේ අන්තර්ජාල ගිණුම්වල රුපියල් කෝටි 1645 කට අධික මුදලක් ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන – මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කළේය.අන්තර්ජාලයේ ජාත්‍යන්තර ක්‍රිස්ටො කරන්සි හා බයිනෑන්ස් වේදිකා හරහා මෙම අන්තර්ජාල ගිණුම් පවත්වාගෙන ගොස් ඇති සැකකාර සභාපතිවරයා යූ එස් ඩී පී මිලියන 4.7 මෙසේ ආයෝජනය කර ඇති බව හෙළිවිය. මූල්‍ය සමාගමේ සැකකාර අධ්‍යක්ෂකවරයකු ක්‍රිස්ටො කරන්සි ගිණුම් 400ක් හරහා මුදල් තැන්පත් කර ඇති බවත්, ගිණුම් හතරකින් සෘජුවම මුදල් සභාපතිවරයාගේ ගිණුමට බැරවී ඇති බවත් තුරුණු ඉදිරිපත් කෙරිණි.සැකකාර අධ්‍යක්ෂ සෘජුවම තැන්පත් කර ඇති මුදල රුපියල් කෝටි 385ක් බවද කරුණු ඉදිරිපත් කෙරිණි.මීට අමතරව ජෝර්ජියානු ජාතිකයකුගේ ගිණුමකට රුපියල් කෝටි 490කට අධික මුදලක් බැරවී ඇති බවද කරුණු ඉදිරිපත් කළේය.



මෙම සභාපතිවරයා හා විදේශිකයා ජාත්‍යන්තර පොලිසිය හරහා අඩංගුවට ගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඉංග්‍රිසි භාෂාවෙන් රතු වරෙන්තුවක් නිකුත් කළේය.ඔන්මැක්ස් සභාපතිවරයා ලෙස කටයුතු කළ මදුරංග ප්‍රසන්න සමරකෝන් හෙවත් සෑම් බස්නායක නමැති සැකකරු පොලිසිය මග හරිමින් ඕස්ට්‍රේලියාවට පැන ගොස් ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ කරුණු දැක්වීම සලකා බැලීමෙන් පසුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙම වරෙන්තුව වරෙන්තුව නිකුත් කළේය.

ඉකුත් 2023මාර්තු මස පස්වැනි දින කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක දී ප්‍රවර්ධන වැඩසටහනක් පවත්වමින් දේශනයක් කර ඇති සැකකරු මාර්තු 21වැනි දින විදෙස්ගතව ඇති බවත්,

සභාපතිවරයාගේ ගිණුමට සැකකාර මූල්‍ය ආයතනයේ අධ්‍යක්ෂවරයකු වන නඩුවේ සිවුවැනි සැකකරු වන සාරංග රන්දික මෙම රුපියල් කෝටි ගණනක මුදල සෘජුවම තැන්පත් කර ඇති බවට කරුණු අනාවරණය වන බවත් රහස් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය. ජෝජියානු ජාතිකයකු වන අස්ලානික් විලි නමැති පුද්ගලයා ඔන් මැක්ස් මුදල් ඔහුගේ ගිණුමකට බැර කර ගෙන ඇති බවත් එම මුදල් සැකකරුවන්ට ලබාදී ඇද්ද යන්න පිළිබඳවද තවදුරටත් විමර්ශනය කරන බවත් කරුණු ඉදිරිපත් කෙරිණි.රතු වරෙන්තු නිකුත් කෙරුණු සභාපතිවරයා හා විදේශිකයා නඩුවේ 07 සහ 08 වැනි විත්තිකරුවන් ලෙස නම් කෙරිණි.

මහමොළකරුවකු ලෙස කටයුතු කර “ඔන්මැක්ස්” පරිගණක පද්ධතිය නිර්මාණය කළේ

යැයි කියන පන්නිපිටියේ ගයාන් චාමර වික්‍රමතිලක වන නඩුවේ 06වැනි සැකකරු වහාම අත්අඩංගුවට ගන්නැයි දන්වා මහේස්ත්‍රාත්වරයා මීට පෙර වරෙන්තු නිකුත් කළේය. එසේම නඩුවේ සෙසු සැකකරුවන් පස්දෙනා වන ඉන්දික සම්පත්, ගයාෂාන් අබයරත්න, සම්පත් සඳරුවන් සාරංග රන්දීප සහ ධනංජය ජයාන් විදෙස් ගමන් තහනම් කර දැඩි ඇප කොන්දේසි යටතේ මුදා හැරීමට මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත .

ශ්‍රී ලංකා මහ බැංකුව කළ පැමිණිල්ලක් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන ඒකකය පසුගිය ජූලි මස 12 වැනි දින අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙසේ ඇප නියම කෙරිණි. එම සැකකරුවන් ආයතනයේ ප්‍රධාන ගිණුමක තිබූ රුපියල් කෝටි 79 ක් ඔවුන්ගේ ගිණුම්වලට බැර කරගෙන ඇති බවටද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු ඉදිරිපත් කළේය.
රෝෂන් තුෂාර