parliament-central-bank

ශ්‍රී ලංකා මහා බැංකුවේ සියලු නිලධාරීන්ගේ වැටුප් සියයට හැත්තෑවකින් වැඩි කර ගැනීමේ තීරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ (05) පැවැති පක්ෂ නායක රැස්වීමේදී  පක්ෂ නායකයෝ සියලු දෙනා එම බැංකුවේ ප්‍රධානීන් දැඩි ලෙස විවේචනය කළහ.වැටුප් වැඩි කර ගැනීමේ තීරණය සම්බන්ධයෙන්

කරුණු විමසීම සදහා ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධානිහු පක්ෂ නායකයන්ගේ රැස්වීමට ඊයේ කැඳවනු ලැබ සිටියහ.මෙම පක්ෂ නායක රැස්වීම කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (5) පෙරවරු 10.30ට ආරම්භ විය.මෙහිදී අදහස් දක්වා ඇති මහා බැංකුවේ ප්‍රධානීන් පවසා ඇත්තේ සාමූහික ගිවිසුම අනුව වැටුප් වැඩි කෙරුණු බවයි. වසර තුනෙන් තුනට එම ගිවිසුම මගින් වැටුප් වැඩි කර ගැනීමට හැකියාව ඇති බව ඔවුහු වැඩිදුරටත් පෙන්වා දුන්හ.

මෙහිදී කරුණු දැක්වූ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා තමන්ට තමන්ගේම පඬිය වැඩි කර ගැනීමට බලතල ඇති පනත සහ එහි වගන්ති පෙන්වන ලෙසට ඉල්ලීමක් කළේය.එහෙත් ඊට පැහැදිලි පිළිතුරක් ලබා දීමට මහ බැංකු නිලධාරීන් අපොහොසත් වී ඇත.මහ බැංකුවේ නිලධාරීන් ‘ටින්’ එකෙන් අය කරගෙන බැරල් එකෙන් බෙදාගත් බව ලක්ෂ්මන් කිරිඇල්ල මහතා මෙහි දී පැවසුවේ මුළු සභාවම සිනා ගන්වමිනි.මහ බැංකුවේ නිලධාරීන් මේ විදියට කටයුතු කරන තුරු ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේ ඔස්තාර්ලාද නිහඬව බලාගෙන සිටි බව කිරිඇල්ල මහතා චෝදනා කළේය.




මහා බැංකු නිලධාරීන්ගේ වැටුප් වැඩි කිරීමට මාසයකට රුපියල් කෝටි 23ක මුදලක් වැය වන බවද මෙහිදී තොරතුරු අනාවරණය විය.මෙහිදී කරුණු දක්වා ඇති දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා පවසා ඇත්තේ මෙය මුළුමනින්ම නීති විරෝධී ක්‍රියාවක් බවයි.වැටුප් වැඩි කිරීමට අවශ්‍ය නම් එය පාර්ලිමේන්තුවට පැමිණිය යුතු බවද ඔහු පෙන්වා දුන්නේය.ශ්‍රී ලංකා මහ බැංකුවේ සාමූහික ගිවිසුම කම්කරු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර නැතැයි ද මෙහිදී වැඩිදුරටත් තොරතුරු හෙළිවිය.මහාචාර්ය ජී.එල්. පීරිස්, ලසන්ත අලගියවන්න, වීරසුමන වීරසිංහ, අනුර ප්‍රියා දර්ශන යාපා චන්දිම වීරක්කොඩි ඇතුළු මන්ත්‍රීවරු පිරිසක්ද මහ බැංකු නිලධාරීන්ගේ ක්‍රියා කලාපය දැඩි ලෙස විවේචනය කළහ.


ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධානීහු ඉන් අනතුරුව රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවටද කැඳවනු ලැබූහ. එහිදීද මෙම වැටුප් වැඩි කර ගැනීමේ කාරණය පිළිබඳව දීර්ඝව සාකච්ඡා කර ඇත. නව මහබැංකු පනත් කෙටුම්පතෙහි ස්වාධීන තීරණයක් ලෙස වැටුප් ඉහළ නැංවීම සඳහා ප්‍රතිපාදන තිබුණද ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට අනුව ඒ සඳහා තුනෙන් දෙකක බහුතරයක් අවශ්‍ය වූ නිසා එය පනත් කෙටුම්පතෙන් ඉවත් කළ බවද පක්ෂ නායකයෝ මෙහිදී පෙන්වා දුන්හ. මේ අනුව නව පනතේ කිසිදු තැනක ස්වාධීන තීරණය මත වැටුප් වැඩි කිරීම සඳහා අවස්ථාව නොමැති බවද ඔවුහු පෙන්වා දුන්හ.මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවැසුවේ පනතේ 5, 8 සහ 23 වගන්ති අනුව මේ සඳහා ප්‍රතිපාදන ඇති බවත් පරිපාලනය, කළමනාකරණය සහ මෙහෙයුම් සම්බන්ධ සියලුම වියදම් පියවා ගැනීම සඳහා මහ බැංකුවේ අරමුදල් භාවිතා කිරීමේ බලය පනතින් ඇති බවද ඔහු කීය.


එහෙත් පක්ෂ නායකයන් මෙහිදී පෙන්වා දුන්නේ වියදම් පිළිබඳ සඳහනක් පනතේ තිබුණ ද

වැටුප් පිළිබඳ නිශ්චිත ප්‍රතිපාදන නොමැති බවයි. පනතේ 23 වගන්තියට අනුව වැටුප් වැඩි කර ගැනීම නිශ්චය කර ගැනීමට අයිතියක් තිබුණ ද අනුමැතිය සඳහා අවසන් බලය පාර්ලිමේන්තුව සතු බව මෙහිදී පක්ෂ නායකයෝ පෙන්වා දුන්හ.එසේම මහ බැංකු අධිපතිවරයා ඇතුළු නිලධාරීන් පැවැසුවේ මෙම වියදම් කරන්නේ මහ බැංකු අරමුදලින් මිස ඒකාබද්ධ අරමුදලින් නොවන බවයි. මහ බැංකු අරමුදල් භාවිතා කිරීමට බලතල පනත මගින් ලබාදී ඇති බවද නිලධාරීහු පැවසූහ. මේ සම්බන්ධයෙන් මහ බැංකු අධිපතිවරයා ඇතුළු නිලධාරීහු දීර්ඝ ලෙස පක්ෂ නායකයන් ඉදිරියේ කරුණු පැහැදිළි කළහ.මහබැංකුවේ අරමුදල් යනු අවසානයේ ජනතාවගේ අරමුදල් බැවින් ඒ සම්බන්ධයෙන් ජනතාවට වගකිව යුතු බවත් ඒ අනුව මහජන මුදල් සඳහා වග කියන පාර්ලිමේන්තුවේ අනුමතිය අවශ්‍ය බවත් පක්ෂ නායකයෝ පැවසූහ.

සෑම වර්ෂ තුනකට වතාවක් වෘත්තීය සමිති සහ කළමනාකාරීත්වය අතර සාමූහික ගිවිසුමකට ( Collective Agreement) අනුව මෙම වැටුප් වැඩි කිරීම කර ඇති බවත් පෙර වසර වල ද මෙය සම්ප්‍රදායක් ලෙස කර ඇති බවත් නිලධාරීහු පැවසූහ. කෙසේ වෙතත් මෙවැනි ගිවිසුමක් නීත්‍යනුකූල වීම සඳහා කම්කරු අමාත්‍යාංශයේ ලියාපදිංචිය ලබාගත යුතු බැවින් එය කර තිබේදැයි යන්න මෙහිදී ප්‍රශ්න කරන ලදී. එහිදී නිලධාරීන් පැවසූවේ එවැනි අනුමතියක් ලබාගෙන නොමැති බවයි. මෙවැනි සාමූහික ගිවිසුමක් ක්‍රියාත්මක කළ හැකි වන්නේ එය කම්කරු අමාත්‍යාංශයේ ලියාපදිංචි කිරීමෙන් පමණක් බවද පක්ෂ නායකයෝ මෙහිදී පැවසූහ.



කෙසේ වෙතත් පක්ෂ නායකයන් පෙන්වා දුන්නේ නව පනතකින් මහබැංකුව ස්වාධීන කිරීමෙන් අපේක්ෂා කළේ ස්වාධීන තීන්දු ගෙන වැටුප් වැඩි කිරීම නොව දේශපාලන මැදිහත් වීම් වලින් තොරව රටේ ආර්ථිකයට අදාළ නිවැරැදි ප්‍රතිපත්ති සැකසීම බවයි. යම් අයුරකින් නීතියට අනුව හැකියාවක් තිබුණද රට සහ ජනතාව පීඩාවට පත්ව සිටින මෙවැනි මොහොතක අසංවේදී ලෙස මෙලෙස වැටුප් වැඩි කර ගැනීම කිසිසේත්ම සදාචාරාත්මක නොවන බවත්, අනුමත කළ නොහැකි බවත් පක්ෂ නායකයෝ මහබැංකුවේ නිලධාරීන්ට අවධාරණය කර සිටියහ. එසේම වැටුප් වැඩි කළ යුතු අංශ ගණනාවක් තිබියදී එ පිරිසක් පමණක් වරප්‍රසාද හිමිකර ගැනීම සාධාරණ නොවන බවද ඔවුහු පෙන්වා දුන්හ.

 අංජුල මහික වීරරත්න