parliament-election-budget

පළාත් පාලන මැතිවරණයට මුදල් වෙන් කිරීම පාර්ලිමේන්තුවේ කාර්යභාරයක් බැවින්, ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මැදිහත් වීමට කිසිදු බලයක් නොමැති බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ දිනිත් චින්තක කරුණාරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එරාජ් ද සිල්වා මහතා පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ පැවැසීය.ජනාධිපති නීතිඥවරයා මෙසේ පැවැසුවේ, පළාත් පාලන මැතිවරණය කල් දැමීමට එරෙහිව ගොනු කර තිබූ පෙත්සම් විභාගයට ගත් අවස්ථාවේදීය.



මෙම පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන විජිත් මලල්ගොඩ, ගාමින් අමරසේකර, මෘර්දු ප්‍රනාන්දු සහ යසන්ත කෝදාගොඩ යන මහත්ම මහත්මීන්ගේ සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ සලකා බැලිණි.සමගි ජන බලවේගය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, ජාතික ජන බලවේගය සහ පැෆ්රල් සංවිධානය විසින් ගොනු කර තිබූ මෙම පෙත්සම්වල වග උත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසම, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.



පසුගිය වසරේ මාර්තු 9 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීමෙන් මූලික අයිතිවාසිකම් කඩවන ලදැයි සඳහන් කරමින්, එම මැතිවරණය පැවැත්වීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පෙත්සම්කාර සංවිධාන විසින් මෙම පෙත්සම ගොනු කරනු ලැබ ඇත.මෙහි වග උත්තර කරුවකු ලෙස නම් කර සිටින රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ දිනිත් චින්තක කරුණාරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එරාජ් ද සිල්වා මහතා මෙසේ පැවැසීය.

“පාර්ලිමේන්තුවට ජනතාව විසින් ප්‍රධාන වශයෙන්ම බල තල දෙකක් පවරා තිබෙනවා. එකක්, නීති සම්පාදනය. අනෙක, රාජ්‍ය මූල්‍ය පාලනය.රාජ්‍ය මූල්‍ය පාලනය සම්පූර්ණව වැටෙන්නේ පාර්ලිමේන්තුව යටතටයි.ඒ අනුව, පළාත් පාලන මැතිවරණයට මුදල් වෙන් කිරීමේ පූර්ණ බලය ඇත්තේ පාර්ලිමේන්තුවටයි. ඒ අනුව, ඒ සඳහා මුදල් වෙන් කිරීම, මුදල් ඒක රාශි කිරීම, ඒවා බෙදාහැරීම පාර්ලිමේන්තුව සතු කාර්යභාරයක්. ඊට මැදිහත් වීමට අධිකරණයට බලයක් නැහැ. මෙම පෙත්සම් සමග ඉදිරිපත් කර ඇති කරුණු අධ්‍යයනය කර, ඒවා රාජ්‍ය මූල්‍ය යටතට නොවැටෙන්නේ නම්, පෙත්සම් ඉදිරියට පවත්වාගෙන යෑමේ හැකියාවක් තිබෙනවා. කරුණු නිරීක්ෂණයේදී ඒවා රාජ්‍ය මූල්‍ය යටතට වැටෙනවා නම්, ඊට මැදිහත් වීමට කිසිදු ආකාරයකට අධිකරණයට බලයක් නැහැ.අනෙක් අතට එවකට රටේ පැවැති මුල්‍ය දුෂ්කරතා අනුව මැතිවරණයට මුදල් වෙන් කර තිබුණත්, එම මුදල් ඒ සඳහා යෙදීමට රජයට හැකියාවක් තිබුණේ නෑ. ජනතාවගේ මූලික අවශ්‍යතා ඉටුකිරීමට එම මුදල් යෙදීමට සිදු වුණා.

රටක ආර්ථික තත්වය ස්ථාවරව පවතින දෙයක් නොවේ. නිරන්තරයෙන් වෙනස් වෙනවා. ඒ අනුව පෙත්සම් ඉදිරිපත් කළ අවස්ථාවේදී රටේ තිබූ ආර්ථික තත්වය දැන් නැහැ. ඒ අනුව ජනතාවගේ මූලික අයිතිවාසිකම් අඛණ්ඩව කඩවීමක් සිදු වී නෑ. අනෙක් අතට මෙම පෙත්සම් අධිකරණය හමුවේ ගොනුකර ඇත්තේ කාලාවරෝධීවයි. නීතියේ ආධිපත්‍යයක් මොන ආකාරයෙන්වත් උල්ලංඝනය වී නෑ. ඒ අනුව මේ පෙත්සම් පවත්වාගෙන යන්න බැහැ. එම පෙත්සම් විභාගයට නොගෙනම ඉවත දමන ලෙස ඉල්ලා සිටිනවා."

වැඩිදුර විභාගය තවදුරටත් පැවැත්වේ. රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ වෙනුවෙන් ජනාධිපති නීතිඥ එරාජ් ද සිල්වා මහතා පෙනී සිටියේය.මැතිවරණ කොමිසම වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පෙනී සිටියේය.අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාපා මහතා පෙනී සිටියේය.ජාතික ජන බලවේගය වෙනුවෙන් ජනාධිපති නීතිඥ නයිජල් හැව් මහතා පෙනී සිටියේය.විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය වෙනුවෙන් ජනාධිපති නීතිඥ විරාන් කොරයා මහතා පෙනී සිටියේය.නීතිපති වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල්, ජනාධිපති නීතිඥ නෙරින් පුල්ලේ මහතා පෙනී සිටියේය.

රන්ජන් කටුගම්පොළ