කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු කටයුතු සිදු වෙමින් පවතින අවස්ථාවේ අධිකරණ භූමිය තුළ ජංගම දුරකතනයක් භාවිත කරමින් වීඩියෝ කිරීම් කළ බව කියන පුද්ගලයකු අප්‍රේල් මස 1 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (29) නියෝග කර තිබේ.
අධිකරණ භූමියේදී අධිකරණ සාජන්වරයා විසින් සිය භාරයට ගනු ලැබූ පුද්ගලයා බන්ධනාගාර නිලධාරින් භාරයේ රඳවා කොම්පඤ්ඤවීදිය පොලිසියට භාර දී ඇති අතර පුද්ගලයා සහ දුරකතනයට අදාළ විමර්ශන අවසන් කිරීමෙන් අනතුරුව කොළඹ අලුත්කඩේ අංක 05 මහේස්ත්‍රාත් සංජීවනී පවිත්‍රා මහත්මිය හමුවට ඉදිරිපත් කර ඇති අතර මහේස්ත්‍රාත්වරිය විසින් මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
සැකකරු සමඟ තවත් පුද්ගලයන් දෙදෙනකු පොලිස් අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදා හැර ඇති බව පොලිසිය පැවසීය.
කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඝාතන සැලසුමක් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන අවස්ථාවේදී මෙම පුද්ගලයා මේ අයුරින් වීඩියෝ කිරීම් කර ඇති අතර ඔහුගේ ජංගම දුරකතනයට අදාළ විමර්ශන සිදු කරන බව පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.
සුභාෂිණී සේනානායක
0 Comments