police-call-manna-roshan

‘මන්නා රොෂාන්ගේ මල්ලි මධුරංගටයි තවත් එකෙකුටයි නිරිපොළ වෙල ගාවදී වෙඩි තිබ්බා. මම කතා කරන්නේ ලලිත් කන්නංගර ගිහින් බලන්න යැයි පවසමින් මන්නා රොෂාන්ගේ සහෝදරයාට සහ ඔහුගේ මිතුරකුට ඊයේ (4) පෙරවරු 11.30 ට පමණ වෙඩි තැබූ බවට සැකකරන පුද්ගලයකු හංවැල්ල පොලිසියට දුරකතන ඇමතුමක් ලබාදී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලැබූ මන්නා රොෂාන්ගේ

සහෝදරයා සහ ඔහුගේ මිතුරා අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කිරීමේදී මන්නා රොෂාන්ගේ සහෝදරයා මියගොස් සිටි බව පොලිසිය පවසයි.මියගොස් ඇත්තේ හංවැල්ල, නිරිපොළ ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි කාරියවසම් අතුකෝරළගේ දොන් මධුසංක නමැත්තකු බව පොලිසිය පවසයි.

දැනට ඩුබායි හි සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික ලලිත් කන්නංගර නැමැත්තා සහ මන්නා රොෂාන් අතර පැවැති මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් ඇතිවී තිබූ ආරවුලක් මත මෙම වෙඩි තැබීම සිදුවී ඇති බවට පොලිස් විමර්ශනවලදී අනාරණය වී යැයි පොලිසිය කියයි.මීට මාස කීපයකට පෙර පාදුක්ක ප්‍රදේශයේදී ඝාතනයට ලක්වූ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන මන්නා රොෂාන් නමැත්තාගේ සහෝදරයා සහ ඔහුගේ මිතුරකු හංවැල්ල නිරිපොළ ප්‍රදේශයේ වෙල්යායක් අසල කැබ් රථයකින් ගමන් කරමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි බවට සැක කරන

නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනකු වෙඩි තබා පලාගොස් ඇතැයි පොලිසිය පවසයි.

එහිදී වෙඩි ප්‍රහාර 8 ක් පමණ තබා ඇති අතර මන්නා රොෂාන්ගේ සහෝදරයා ඔහුට අයත් හංවැල්ල, නිරිපොළ වැලි තොටුපොළක් වෙත පැමිණෙමින් සිටියදී මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිසිය සඳහන් කරයි.සිද්ධිය වූ ස්ථානයේ සිට මීටර් 500 ක පමණ වපසරියක් තුළ සී.සී. ටී.වී. දර්ශන නිරීක්ෂණයෙන් හෝ කිසිදු තොරතුරක් තවමත් ලැබී නැති බවත් ජංගම දුරකතන විශ්ලේෂණ වාර්තා සහ දුරකතන කුලුනු සංඥා මාර්ගයෙන් තොරතුරු ලබාගැනීමට විමර්ශන පවත්වන බවත් පොලිසිය කියයි.වෙඩි තැබීම සම්බන්ධයෙන් හංවැල්ල පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය, කොට්ඨාස අපරාධ විමර්ශන අංශ, යුද හමුදාව ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායම් කීපයක් වැඩිදුර විමර්ශන සිදුකරයි.