policemen-court

සොරකම් සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණ පුද්ගලයකු නීතීවීරෝධී ආකාරයෙන් රදවා තබාගෙන කෲර ලෙස පහරදී මරා දැමීමේ චෝදනාවලට වරදකරුවන් වූ පෑලියගොඩ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ හිටපු නිලධාරීන් දෙදෙනකුට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා

මරණීය දණ්ඩනය ඊයේ (04) නියම කළේය.සමස්ත පොලිසිය කෙරෙහිම මහජන විශ්වාසය පළුදු වන ආකාරයට විත්තිකරුවන් පිළිකුල් සහගතව කටයුතු කර ඇතැයි පෙන්වා දෙමින් විත්තිකරුවන්ට මරණීය දණ්ඩනය පැන වූ විනිසුරුවරයා මරණීය දණ්ඩනයට අමතරව විත්තිකරුවන්ට වසර 12 බැගින් බරපතළ වැඩ සහිත සිරදඬුවම් සහ රුපියල් 65000/- බැගින් දඩ නියම කළ අතර පොලිසි පහරදීමෙන් මියගිය පුද්ගලයාගේ දියණියට රුපියල් ලක්‍ෂ 20 වන්දියක් ගෙවීමට ද නියම කළේය.වසර 18කට පෙර කැලණිය වනවාසල ප්‍රදේශයේ පදිංචිකරුවකුට පෑලියගොඩ පොලිසියේදී මෙම අපරාධය කළ විත්තිකරුවන්ට එරෙහි චෝදනා පැමිණිල්ල කිසිඳු සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීන්දු කර චෝදනාවලට වරද කරුවන් වීම නිසා මෙලෙස දඬුවම් නියම වූයේ පෑලියගොඩ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ උප පොලිස් පරීක්‍ෂවරයකු වශයෙන් සේවය කළ කේ.එල්. වමින්ද කුමාර (43) සහ කොස්තාපල්වරයකු වශයෙන් සේවය කළ (33564) එස්.ඒ.කේ. අනුර ධර්මප්‍රිය වීරවර්ධන (50) නමැත්තන්ටය.



මෙම විත්තිකරුවන් සමඟම මෙම නඩුවෙන් චෝදනා ලැබ සිටි පෑලියගොඩ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක ලාවුස් දසනායක සහ සැරයන් මොහොමඩ් අදීෂ් නමැත්තන්ට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර නැතැයි තීරණය කළ විනිසුරුවරයා ඔවුන් දෙදෙනා සියලු චෝදනා වලින් නිදොස් කොට නිදහස් කළේය. 2005 ජුලි 13 වැනිදා හෝ ඊට ආසන්න දිනයක පෑලියගොඩ පොලිස් ස්ථානය තුළ දී අබේසිංහ හෙවත් රංජිත් නමැත්තා නීතිවිරෝධී ආකාරයෙන් රඳවා තබා ගැනීම ඔහු කාර වද බන්ධනයන්ට පත් කිරීම සහ අමානුෂික ලෙස ඔහුට පහරදී ඔහුගේ මරණය සිදු කිරීම යන චෝදනා යටතේ විත්තිකරුවන්ට එරෙහි ව නීතිපතිවරයා විසින් නඩු පවරා තිබිණි.

මේ සම්බන්ධයෙන් විත්තිකරුවන් සිව්දෙනකුට එරෙහි දීර්ඝ නඩු විභාගයේදී පොලිස් දෙපාර්තමේන්තුවේ ඇඟිලි සලකුණු අංශයට අනුයුක්තව සේවය කළ නිලධාරියකුගේ නිවසේ තිබු රැහැන් රහිත දුරකථනයක් සොරා ගත් බවට ඔහුගේ බිරිඳ නිවසේ සේවය කළ අබේසිංහ හෙවත් රංජිත් නමැත්තා රාත්‍රී 9.00ට පමණ පොලිසියට ගෙනැවිත් බාර දී ඇතැයි හෙළි විය.සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පොත්වල කිසිඳු සටහනක් නොයෙදු සැකකාර පොලිස් නිලධාරීන් ඇගේ මෝටර් රථයෙන්ම සැකකරු පිළිබඳ පොලිස් පොත්වල කිසිඳු සටහනක් නොදා පිටතට රැගෙන ගොස් අලුයම 1.15ට පමණ යළි පොලිස් ස්ථානයට රැගෙන පැමිණ ඇති බවත් පසුව පළමු සැකකාර උප පොලිස් පරික්ෂකවරයා ඔහුගේ එක් අතකට මාංචුවක් දමා එහි අනෙක් කොන අපරාධ විමර්ශන අංශයේ තිබූ ජනේලයකට දමා ඇති බවත් මෙහිදී අනාවරණය විය. පසුව දෙවැනි සැකකාර පොලිස් කොස්තාපල්වරයා විකට් පොල්ලක් ගෙන සැකකරුට හොඳ හැටි පහර දුන් බවත් සාක්කි මඟින් හෙළි විය.

පසුව ඔහු ඉන් ඉවත් කර බංකුවක නිදි කරවා දෙවැනි සැකකාර පොලිස් කොස්තාපල්වරයා විකට් පොල්ලක් ගෙන සැකකරුගේ යටි පතුල් වලට පහර දී ඇති බවත් සාක්කි මගින් අනාවරණය වූ අතර මෙම පහරදීම වලින් අනතුරුව ඉතා අපහසු තත්වයෙන් පෑලියගොඩ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ හිඳගෙන සිටි සැකකරු විත්තිකරුවන් විසින්ම රෝහලට ගෙන ගියත් ඒ වන විටත් ඔහු මිය ගොස් ඇති බවත් අනාවරණය වූ බව විනිසුරුවරයා සිය තීන්දුවේ සඳහන් කළේය.

පහරදීම හේතුවෙන් මිය ගිය අබේසිංහ හෙවත් රංජිත් නමැත්තාගේ පශ්චාත් මරණ පරීක්ෂණ කළ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා මරණකරුගේ ශරීරයේ තුවාල 16ක් ඇති බවත් මරණකරුගේ ශරීර අභ්‍යන්තරයේ ඇති උරස් පතුවල අස්ථි කැඩී යන ආකාරයෙන් මරණකරුට මොට ආයුධ වලින් තදබල ලෙස පහරදී ඇතැයි අධිකරණයට වාර්තා කර ඇතැයි පෙන්වා දුන් විනිසුරුවරයා එසේ වුවත් එම තුවාල බාහිරින් නොපෙනෙන බවත් අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා සිය වාර්තාවේ සඳහන් කර ඇතැයි තීන්දුවේ සඳහන් කළේය. දුරකථනය ගත්තේ කවුද ? කියා අසමින් යම් තොරතුරක් හෙළි කර ගැනීම සඳහා විත්තිකරුවන් මරණකරුට ඉතා අමානුෂික අන්දමින් කෲර ලෙස පහර දී ඇතැයි අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ වාර්තාව පරිශීලනය කිරීමේ දී පෙනී යන බව සඳහන් කළ විනිසුරුවරයා රාත්‍රී 9.00 ට පමණ පොලිසියට ගෙනැවිත් බාරදුන් විත්තිකරු පසුදා උදෑසන වන විට මිය යන අන්දමින් විත්තිකරුවන් ඔහුට ඉතා ප්‍රබල ලෙස හා කෲර ලෙස පහර දී ඇතැයිද දැඩි කම්පනය සහ අභ්‍යන්තර රුධිර වහනය හේතුවෙන් මරණකරු මිය ගොස් ඇතැයි ද තීන්දුවේ වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අනුව මරණකරු අනීතික අන්දමින් පෑලියගොඩ පොලිස් ස්ථානයේ රඳවා තබාගෙන අමානුෂික හා කෲර ලෙස වඳ බන්ධනයට ලක් කර ඔහුගේ මරණය සිදු කළ බවට විත්තිකරුවන්ට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව පැමිණිල්ල විසින් ඔප්පු කර ඇතැයි තීන්දු කළේය.විත්තිකරුවන්ට එරෙහි දඬුවම් ලිහිල් කිරිම සඳහා හේතු ඇත්නම් ඉදිරිපත් කරන ලෙස දැනුම් දුන් අවස්ථාවේදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු කරුණු දක්වමින්

තම සේවාදායකයන් මෙම සිද්ධිය හේතුවෙන් දැඩි ලෙස පශ්චත්තාප වන බවත් ඔවුන්ට යළි සමාජගත විය හැකි අන්දමේ දඬුවම් නියම කරන ලෙසත් ඉල්ලා සිටියහ.

පැමිණිල්ල වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් පෙනී සිටි රජයේ නීතිඥ චතුරි විජේසුරිය මහත්මිය කරුණු දක්වමින් නීතිය බලාත්මක කිරීමේ සහ පුරවැසි අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීම සඳහා මෙන්ම රටේ සාමය  ආරක්ෂාකිරීම සඳහා ස්ථාපනය කර ඇති පොලිස් දෙපාර්තමේන්තුවේ  නිලධාරීන් වශයෙන් රාජකාරි කරමින් සිටිය දී විත්තිකරුවන් මෙම අපරාධය කර ඇතැයි පෙන්වා දුන්නාය. මරණකරු ඇත්තෙන්ම සොරකමක් කළා වුවත් ඔහුට ඉතා දරුණු මෙන්ම කෲර අන්දමින් පහර දී ඇතැයිද එමෙන්ම මරණකරුගේ තුවාල පිටතට නොපෙනෙන අන්දමින් විත්තිකරුවන් ඉතා සුක්ෂම අන්දමින් මරණ කරුට පහර දී ඇතැයි ද අධිකරණයේ ඉදිරිපත් වූ සාක්කි මගින්ම පෙන්වා දුන් රජයේ නීතීඥ චතුරි විජේසුරිය මහත්මිය විත්තිකරුවන් අපරාධ නඩු විධාන සංග්‍රහය මෙන්ම පොලිස් ආඥා පනතද අමු අමුවේ උල්ලංඝණය කර ඇතැයි පෙන්වා දුන්නාය.

පොලිස් දෙපාර්තමේන්තුවේ තේමා පාඨය වන්නේ අපරාධ සහ ප්‍රචණ්ඩත්වයෙන් තොර විශ්වාසයෙන් ජීවත්වීමට හැකි සාමකාමී පරිසරයක් කරා ' යන්න වුවත් විත්තිකරුවන් නිරායුධ පුද්ගලයකුට තම ජීවිතය බේරා ගැනීමට ප්‍රතිරෝධ දැක්වීමට හෝ නොහැකි වන අන්දමින් ජනේලයකට තබා හාචු දමා ඉතාම අමානුෂික හා කෲරතර අමින් පහර දී ඇති බව සාක්කි මගින් හෙළි වී ඇතැයි සඳහන් කළ රජයේ නීතීඥ චතුරි විජේසූරිය මහත්මිය විත්තිකරුවන් කටයුතු කර ඇත්තේ සමස්ත පොලිස් දෙපාර්තමේන්තුව කෙරෙහිම මහජන විශ්වාසය පළුදු වන ආකාරයෙන් බවත් පෙන්වා දුන්නාය.

සෑම මිනිසකුටම ආත්ම ගෞරවයක් ඇති නමුත් විත්තිකරුවන් මියගිය පුද්ගලයාට පහර දී ඇති කෲර ආකාරය දෙස බැලීමේ දී එම ආත්ම ගෞරවය ආරක්ෂා කළාද? යන ප්‍රශ්නය පැන නගින බවත් ඊටත් වඩා ශෝචනීය තත්වය වන්නේ මරණකරු දැඩි ලෙස මත්පැන් පානයට යොමු වූ පුද්ගලයකු වශයෙන් සඳහන් කිරීම මගින් මියගිය පුද්ගලයාගේ ආත්ම ගෞරවයත් කෙළසීමට ඔවුන් කටයුතු කිරීම ඉතාම පිළිකුල් සහගත යැයි පෙන්වා දුන් රජයේ නීතීඥ චතුරි විජේසුරිය මහත්මිය මෙවැනි අපරාධයක් කළ පුද්ගලයන්ට සෙසු පොලිස් නිලධාරීන්ටත් ආදර්ශයක් වන අන්දමට දැඩි දඬුවම් නියම කරන්නැයි ඉල්ලා සිටියාය. සියලු කරුණු සළකා බැලීමෙන් අනතුරුව විනිසුරුවරයා විත්තිකරුවන්ට අදාළ දඬුවම් නියම කළේය. පැමිණිල්ල වෙනුවෙන් නීතීපතිවරයා නියෝජනය කරමින් රජයේ නීතීඥ චතුරි විජේසූරිය මහත්මිය ද නිදහස් වූ විත්තිකරුවන් දෙදෙනා වෙනුවෙන් නීතීඥ ශ්‍රමින්දු රුද්‍රිගු මහතා පෙනී සිටියාය.
මනෝප්‍රිය ගුණසේකර