prime-minister-matara-helicopter-wind

අභාවප්‍රාප්ත රොනී ද මැල් හිටපු මුදල් ඇමතිවරයාගේ අවමංගල උත්සවය සඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා රැගත් හෙලිකොප්ටරයක් ​​මාතර කොටුව පිටියට ගොඩබෑමේදී ඇති වූ තද සුළං හේතුවෙන් මාතර තානායමේ වහලයට හානි සිදුවී ඇතැයි වාර්තා විය. මේ නිසා සැලකිය යුතු ආහාර ප්‍රමාණයක් බැහැර කිරීමට සිදු වූ බවත් කියැවේ.
මාතර තානායමේ කළමනාකාරවරයා පවසා ඇත්තේ හෙලිකොප්ටර පීඩනයට හසුවූ ප්‍රබල මුහුදු සුළඟ තානායම් අවන්හලේ වහලය වෙනතකට පතිත කරවන්නට සමත්වූ බවයි. මේ හේතුවෙන් එම ස්ථානයේ ගබඩා කර තිබූ ආහාර පාන විනාශවී ඇත.
 ආහාර පාන ලබා ගනිමින් සිටි ප්‍රභූ ආරක්ෂක නිලධාරීන්,දේශීය හා විදේශීය සංචාරකයින්ගේ පිගන්වලට ද වැලි ,දූවිලි හා කුණු රොඩු වැටී තිබු අතර

එම නිසා ඔවුන් දැඩි දුෂ්කරතාවයට පත්ව දැඩි බියට ද ඔවුන් පත්ව තිබූ බව ඔහු කීය.

ඊට අමතරව මාතර තානායමේ බුෆේ කෑම මේසයේ කෑම සියල්ල විසි කර දැමීමට සිදු විය.පිගන් කෝප්ප ද කුඩු වී බාර් එකේ වහල ගැලවී ගොස් තිබී ඇත.
නිසි ආකාරයට  යානය ගොඩ බැස්සවීමට අපොහොසත්වීම ගැන දෙස් විදෙස් සංචාරකයින් සිය විරෝධය පල කර තිබේ.

අපහසුතාවයට පත්වු විදේශිකයින් ඇතුළු පිරිසට ඇණවුම් කල කෑම වෙනුවට ක්ෂණිකව ෆයිඩ් රයිස් සාදා නැවත පිලි ගැන්වීමට මාතර තානායමේ කලමණාකාරීත්වය කටයුතු කර තිබුණි.

ඒ ආසන්නයේ කොට්ටම්බා ගසක අත්තක් ද බිමට කඩා වැටී ඇත.

අවමංගල්‍යය උත්සවය අවසන් වී ප්‍රභූන් පැමිණීමට නියමිතව තිබු නිසා කාර්ය මණ්ඩලය යොදවා ඉතා ඉක්මණින් මාතර තානායම පිරිසිදු කිරීමට ද කටයුතු කෙරිණි.
 හානිය පිළිබඳව සොයා බැලීමට මාතර මූලස්ථාන පොලිසිය කටයුතු කර තිබේ.