ranil-power-divide
පොලිස් බලතල අත්හැර බලය බෙදීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ 28දා පැවති ශ්‍රී ලංකා ජාතික සාම මණ්ඩලය විසින් සංවිධානය කරන ලද "සංහිඳියාව සඳහා ආගම්” ජාතික අන්තර් ආගමික සමුළුව අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.



එහිදී වැඩිදුරටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙලෙස අදහස් දක්වා සිටියේය.

“ආගමත්, සංහිඳියාවත් අතර තිබෙන සම්බන්ධතාව අප හොඳින් දන්නවා. ජාතිවාදයේ මෙන්ම ආගම්වාදයේ අත්දැකීම් අපට තිබෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස අප බිහිසුණු යුද්ධයකට මුහුණ දුන්නා. යුද්ධය අවසන් වීමෙන් පසු සහජිවනය පිළිබඳ අපේ අවධානය යොමුව තිබෙනවා. සහජීවනය ගොඩනැගීමේ දී සියලු ආගමික නායකයන්ට ප්‍රධාන වගකීමක් පැවර් තිබෙනවා. අපගේ සිතුවිලි පිළිබඳ එහිදී අවධානය යොමු කළ යුතුයි.



දේශපාලනඥයන්ගේ සිතිවිල්ල නම් බලය ලබා ගැනීමයි. ආගමික නායකයන්ගේ සිතිවිල්ල නම් එම ස්ථානවල රැඳී සිටීමයි. මේ සියල්ලේ කෙටි මාර්ගය තමයි ජාතිවාදය සහ ආගම්වාදය. 1930 සිටම අපේ රට තුළ මෙය සිදුවුණා. එහි අවසාන ප්‍රතිඵලය වූයේ කුමක්ද කියා මා අමුතුවෙන් සඳහන් කළයුතු නැහැ.

දැන් යුදමය තත්ත්වයක් නැති නිසා රටේ දේශපාලන ප්‍රශ්න විසඳෙමින් තිබෙනවා. එබැවින් අප සහජිවනය පිළිබඳව අවධානය යොමු කළ යුතුයි.

අපි පාර්ලිමේන්තුවේදීත් මේ පිළිබඳව කතා කරනවා. කරු ජයසූර්ය මහතා කථානායකවරයා ලෙස ශ්‍රී ලංකාවේ ජාතික සහ ආගමික සහජීවනය සහතික කිරීම සඳහා වූ කාරක සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළා. එම කාරක සභාව පත් කළේ 2018 මාර්තු මාසයේ මුස්ලිම් ජනතාව සම්බන්ධව ඇති වූ ගැටුම්වලටත්, 2017 වසරේ ගාල්ලේ ඇති වූ ගැටුම්වලටත් ඒ වගේම 2014 වසරේ බේරුවල සිදුවු ගැටුම්වලටත් අදාළවයි. එම ප්‍රශ්න විසඳීම සඳහා මෙම තේම්කාරක සභාවලින් යෝජනා ගණනාවක් ඉදිරිපත් කළා. එම යෝජනාවලට අප සියලුදෙනාම එකඟ වුණා. අපි කණ්ඩායමක් ලෙස මෙහිදී එකඟත්වයකින් යුතුව කටයුතු කළා. එසේ නම් එම එකඟත්වය අනුව අප ඉදිරියට යා යුතුයි.

අනෙක් කාරණය වන්නේ බලය බෙදීමයි. මෙහි මුලික ඉල්ලීමක්ව පවතින්නේ බලය බෙදීම පිළිබඳ 3වන ලැයිස්තුවේ බලතල ලබාදීමයි. අපි පොලිස් බලතලවලට අත තැබීමට යන්නේ නැහැ. එය පසුව කළහැකියි. ඉඩම් පනත ඉදිරිපත් කළ යුතුයි. ඒ වගේම 3 වන ලැයිස්තුවේ තිබෙන අනෙකුත් විෂයයන් භාරදීම පිළිබඳ අපට ගැටලුවක් නැහැ. තුනෙන් දෙකක් ලබා ගැනීමට පාර්ලිමේන්තුවේ අනෙකුත් පක්ෂ සමඟත් ඊට එකඟවීමට සිදු වෙනවා. ඒ පිළිබඳ අපේ ගැටලුවක් නැහැ”.