ස්ටෙරොයිඩ අඩංගු ඖෂධ අවභාවිතය ඇතුළු හිතුමතයට ඖෂධ භාවිතය හේතුවෙන් ටීනියා හෙවත් 'රිංවර්ම්' යන දිලීර ආසාදන තත්ත්වය වසංගතයක් මෙන් මේ වනවිට රට පුරා ව්‍යාප්ත වී ඇතැයි චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සංගමය අවධාරණය කරයි. එම සංගමය පෙන්වා දෙන්නේ වසර 10කට පමණ ඉහතදී ඉතා සරල දිලීරනාශක මගින් සුව කළ හැකිව තිබූ මෙම තත්ත්වය මේ වනවිට එම ඖෂධවලට ප්‍රතිරෝධී වන බවත්, සියලු පළාත් ආවරණය කරමින් සිදු කරන ලද පක්ෂණයකින් ඒ බව සනාථ වී ඇති බවත්ය.
ඒ අනුව ප්‍රතිකාර සඳහා ඉතා සීමිත දිලීර නාශක වර්ග කිහිපයක් පමණක් පවතින ටීනියා ආසාදන තත්ත්වයට 'හිතුමතයේ’ ඖෂධ භාවිතයෙන් තොරව නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා නොගතහොත් ආසාදන තත්ත්වය සමඟ වසර ගණනක් ජීවත් වීමට රෝගීන්ට සිදුවනු ඇති බවද චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සංගමය අවධාරණය කරයි.ටීනියා යනු සම මතුපිට ඇතිවන දිලීර ආසාදන තත්ත්වයක් වන අතර එය ස්පර්ශය මගින් එක් අයෙකුගෙන් තවත් අයෙකුට පැතිර යයි. ඊට අමතරව සුරතල් සතුන්ගේ ද මෙම ආසාදන තත්ත්වය ඇතිවිය හැකි අතර, එවැනි සතෙකුගෙන් පුද්ගලයෙකුට එය පැතිර යා හැකි නමුත් එම පුද්ගලයාගෙන් තවත් පුද්ගලයෙකුට පැතිර යාමක් මෙතෙක් වාර්තා වී නොමැති බව විශේෂඥ වෛද්‍යවරු සඳහන් කරති.
රවුම් ආකාරයෙන් හට ගන්නා තද කැසීමක් සහිත ලප මෙහි ප්‍රධාන රෝග ලක්ෂණය වන අතර, එම ලප මතුපිට සම කුඩා පොතු ලෙස ගැලවී යාම හෝ කහ පැහැති බලි දැකිය හැක.
එසේම මේ වනවිට මෙම ආසාදනය ශරීරයේ වැඩි පෙදෙසක පැතිර යාම්, වඩා තද ලෙස රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම, සාමාන්‍යයෙන් භාවිත කෙරෙන දිලීරනාශකවලට ප්‍රතිචාර නොදැක්වීම මෙන්ම පවුලක සාමාජිකයන් වැඩි දෙනෙකු අතර පැතිර යාම යනාදී රෝග ලක්ෂණ පෙන්නුම් කෙරේ.
ඒ අනුව ඇඳුම් ආදී පෞද්ගලික උපාංග 'හවුලේ' පරිහරණයෙන් වැළකීම, රෝගී අයගේ ඇඳුම් වෙන්ව සෝදා 'අයන් කිරීම' යනාදී සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම පිළිපැදීම වැදගත් වේ.රට පුරා මේ වනවිට ව්‍යාප්ත වෙමින් පවතින ටීනියා තත්ත්වය පිළිබඳ මාධ්‍ය දැනුම්වත් කිරීම සඳහා වූ හමුවක් චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සංගමය විසින් කොළඹ පිහිටි ශ්‍රී ලංකා වෛද්‍ය සංගම් පරිශ්‍රයේදී ඊයේ (21දා) පවත්වන ලදි.
ඒ අනුව එහිදී වැඩිදුර පැහැදිලි කිරීමක නිරත වෙමින් ලාදුරු මර්දන ව්‍යාපාරයේ, චර්ම රෝග විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට මහත්මිය සඳහන් කර සිටියේ, “කැසීම්වලට, රෑෂස්වලට ඖෂධ වර්ග කිහිපයක් එක්කොට සාදන ලද ආලේපන වෙළෙඳපොළේ තිබෙනවා.
එවැනි ආලේපන භාවිතය කිසිසේත් සුදුසු නෑ. එවැනි ආලේපනවලට කැසීම,රතුලප වැනි ලක්ෂණ අඩු වුණාට දිලීරය තවත් පැතිරෙන්න ඉඩ සලසනවා.
එවිට ශරීරය පුරා පැතිර යනවා. ඖෂධ සැල්වලින් හිතුමතයට ලබා ගන්නා ඖෂධ වර්ග භාවිතය මෙන්ම වෙනත් රෝගයකට හෝ වෙනත් අයෙකුට ලබා දුන් ඖෂධ වර්ග භාවිතය කිසිසේත් සුදුසු වන්නේ නෑ. මෙම ආසාදන තත්ත්වය වැඩි වශයෙන් ඇතිවන්නේ ශරීරයේ තෙත, දහදිය රුදෙන තැන්වල, ඒ නිසා රහස් ප්‍රදේශ ආශ්‍රිතව මෙම තත්ත්ව ඇති වුවහොත් වෛද්‍යවරයෙකුට පෙන්වීමට ඇති මැලිකම් නිසා ඔෂධ සැල්වලින් ආලේපන මිලට ගන්නවා.ඒ නිසා මුල් අවස්ථාවේදීම වහාම සුදුසුකම්ලත් වෛද්‍යවරයෙකු මගින් ප්‍රතිකාර ලබා ගැනීම අත්‍යවශ්‍යයි.මෙම තත්ත්වය නිසා පුද්ගලයන් මරණයට පත්වන්නේ නෑ. කෙසේ වුවත් සුරතල් සතුන්ගෙන් ආසාදන තත්ත්වය පැතිර යන අවස්ථාවලදී තදබල ලෙස හිස ආශ්රිත ඇතිවන ලප ජීවිත කාලය පුරා පැවතිය හැකියි” යනුවෙනි.
නිදර්ශනි වික්‍රමසිංහ
0 Comments