saman-rathnayake-court

බාල බෙහෙත් ජාවාරම පිළිබඳ සියලු තොරතුරු හෙළි කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක මහතා මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය හමුවේ අද (4) උදේ රහස් පාපෝච්චාරණයක් කළ බව පැවසේ.මෙම රහස් පාපෝච්චාරණය කිරීම සඳහා ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර අධිකාරිවරයාට නියම කරන්නට මහේස්ත්‍රාත්වරිය කටයුතු කළේ

මීට දින දෙකකට පෙර ඔහු එවැන්නකට සූදානම් බව කී නිසාය. මේ නිසා මහේස්ත්‍රාත්වරිය වහාම මෙම නඩුවේ අනෙකුත් සැකකරුවන්ගෙන් මෙම සැකකරු වෙන් කර රඳවා තැබීමට ද නියම කළාය.බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් ප්‍රකාශයක් දීමට සැකකාර සමන් රත්නායක නමැත්තා පසුගිය 1 වැනිදා රහස් පොලිසියට පැමිණි අවස්ථාවේදී ඔහු අත්අඩංගුවට ගන්නා ලද අතර, පසුගිය 2 වැනිදා ඔහු මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රිමාන්ඩ් බාරයට පත් කිරීමට සූදානම් වූ අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරිය හමුවේ රහස් ප්‍රකාශයක් දීමට සූදානම් බවට කළ දැනුම්දීමකට අනුව එලෙස නියම කළාය.




සැකකාර සමන් රත්නායක නමැත්තා බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් ප්‍රකාශයක් දීමට කැමැත්ත පළ කළ අවස්ථාවේදී අධිකරණය ඇමතූ මහේස්ත්‍රාත්වරිය, අපරාධ නඩු විධාන සංග්‍රහයේ 127 වැනි වගන්තිය යටතේ රහසිගතව කරන මෙම ප්‍රකාශය යම් අවස්ථාවක ඔබට එරෙහි සාක්කියක් වශයෙන් භාවිත වීමට හැකියාව ඇති බවත්, ඇතැම් විට ඔබ මෙම නඩුවේ සාක්කිකරුවකු කිරීමට හැකියාව ඇති බවත් පෙන්වා දුන් අතර, ඒ අනුව, ඒ පිළිබඳ හොඳට සිතා තීරණයක් ගන්නා ලෙස සැකකරුට දැනුම් දුන්නාය. සැකකරු ලබන 14 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට නියම කළ මහේස්ත්‍රාත්වරිය, පාපෝච්චාරණය කිරීම සඳහා ඔහු අද (4) අධිකරණයට ඉදිරිපත් කිරීමට ද බන්ධනාගාර අධිකාරිවරයාට වැඩිදුරටත් නියම කළාය.

මෙම සිද්ධියට අදාළව මේ වන විට බාල ඖෂධ ගෙන්වූ බව කියන ‘අයුසුලේට් බයෝටෙක් ෆාර්මා’ සමාගමේ හිමිකරු වන සුගත් ජනක ප්‍රනාන්දු, වෛද්‍ය සැපැයුම් ඒකකයේ අධ්‍යක්‍ෂ, වෛද්‍ය කපිල වික්‍රමනායක, වෛද්‍ය සැපැයුම් අංශයේ සහකාර අධ්‍යක්‍ෂ ශාන්තිනී සොලමන්, ගණකධිකාරී (සැපැයුම්) නෙරාන් ධනංජය, තොග පාලක සුජිත් කුමාර (ඇප මත මුදාහැර ඇත), සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපැයුම් ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය ධර්මසිරි රත්නකුමාර හේරත් සහ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල නමැත්තෝ රිමාන්ඩ් බාරයේ පසු වෙති.




බාල බෙහෙත් ජාවාරමට සම්බන්ධ බව කියමින් සැකපිට අත්අඩංගුවට ගත් එම සිද්ධියේ 10 වැනි සැකකාර සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක  ලේකම් සමන් රත්නායක නමැත්තා පසුගිය 2 වැනිදා පෙරවරු 11.00ට පමණ රහස් පොලිස් නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල්වලින් ව්‍යාජ ලේඛන සකස් කර, ස්නායු රෝගීන් සඳහා භාවිත කරන ‘ඉමියුනෝග්ලොබියුලින්' නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ආනයනය කර, දිවයිනේ රජයේ රෝහල්වලට බෙදාහැරීම මගින් රුපියල් කෝටි ගණනක වංචාවක් කිරීම සහ රෝගී ජීවිත අනාරක්‍ෂිත තත්වයකට පත් කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්නැයි ඉල්ලමින් ‘අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බලය' සංවිධානයේ සභාපති කාමන්ත තුෂාර මහතා සහ ‘සිවිල් සංවිධාන එකමුතුව' කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් කළ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් රහස් පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ජයන්ත පයාගල මහතා විසින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය කරුණු දක්වමින්, ස්නායු රෝගීන් සඳහා දෙන ‘හියුමන් ඉමියුනෝග්ලොබියුලින්' එන්නත් ඉතා මිල අධික එන්නත් බවත්, එක් එන්නත් මාත්‍රාවක් සඳහා රුපියල් 45,000ක පමණ මුදලක් ගෙවිය යුතු බවත් කීවාය.


වටිනාකමින් ඉතා ඉහළ මෙම ‘හියුමන් ඉමියුනෝග්ලොබියුලින් එන්නත් මිලදී ගැනීම සඳහා මහා භාණ්ඩාගාරය ඉතා විශාල මුදලක් වැය කරන බවත්, මහා භාණ්ඩාගාරය වැඩිම මුදලක් වැය කරන්නේත් මෙම ‘හියුමන් ඉමියුනෝග්ලොබියුලින්' එන්නත් මිලදී ගැනීම සඳහා බවත් කී ලක්මිණී ගිරිහාගම මෙනවිය, එවැනි වටපිටාවක් යටතේ බාල ඖෂධ ගෙන්වූ බව කියන ‘අයුසුලේට් බයෝටෙක් ෆාර්මා' සමාගමේ හිමිකරු වන සුගත් ජනක ප්‍රනාන්දු නමැති මෙම නඩුවේ පළමු සැකකරුට රුපියල් බිලියනයක රජයේ මුදල් සාපරාධී ලෙස සාවද්‍ය පරිහරණය කිරීමට සෙසු සැකකරුවන් ආධාර අනුබල දී ඇතැයි කීවාය.




මෙම නඩුවේ 8 වැනි සැකකාර හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල නමැත්තා සමග එක්ව නඩුවේ සෙසු සැකකරුවන් වංක චේතනාවෙන් කටයුතු කරමින් සති තුනකින් රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය කඩා වැටෙන බවට රටට සහ කැබිනට් මණ්ඩලයට බොරු බියක් මවාපාමින්, හදිසි ප්‍රසම්පාදන කටයුත්තක් වශයෙන් ඖෂධ ගෙන්වීමට ක්‍රියා කිරීම මගින් මෙම අපරාධය කර ඇතැයි පෙන්වා දුන් ලක්මිණි ගිරිහාගම මෙනවිය ‘අයුසුලේට් බයෝටෙක් ෆාර්මා’ සමාගමේ හිමිකරු වන සුගත් ජනක ප්‍රනාන්දු නමැත්තාට බාල ඖෂධ සපයා අයුතු ලෙස ලාභ ලැබීමට අවශ්‍ය වටපිටාව සැකසීමට මෙම නඩුවේ අනෙකුත් සැකකරුවන් තමන්ගේ රාජකාරිය තුළ ආධාර අනුබල දී ඇතැයි ද පෙන්වා දුන්නාය.


සති තුනකින් රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය කඩා වැටෙන බවට බොරු බියක් මවා, හදිසි ප්‍රසම්පාදන කටයුත්තක් වශයෙන් ඖෂධ ගෙන්වීමට ක්‍රියා කිරීම සම්බන්ධයෙන් මෙම සැකකාර සමන් රත්නායක අත්අඩංගුවට ගත්තේ යැයි කී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය, සැකකරු මෙම අපරාධය කිරීමට සම්බන්ධ කරගෙන ඇත්තේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත නමැත්තන් විසින් ඖෂධ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ බලය තිබූ අතිරේක ලේකම්වරයා තනතුරින් ඉවත් කර, ඔහුගේ වගකීම් සැකකාර සමන් රත්නායක නමැත්තාට පැවැරීමෙන් බව ද කරුණු සහිතව පෙන්වා දුන්නාය.


සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලිසිය කළ විමර්ශනයේදී, ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් ලබා ගැනීමේ ක්‍රියාවලිය වී ඇත්තේ මෙම සැකකරුගේ පූර්ණ අනුදැනුම යටතේ බවත්, ලියාපදිංචි ඖෂධ සැපැයුම්කරුවකුගෙන් වුවත් පළමු වරට යම් ඖෂධයක් ලබාගැනීමේදී එම ඖෂධය සම්බන්ධයෙන් ප්‍රසම්පාදන කමිටුව එහි තත්වය පරීක්ෂා කළ යුතු නමුත්, මෙම අපරාධයට අදාළ සිද්ධියේදී එම ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම මගහැර කටයුතු කර ඇති බවත් කී ලක්මිණී ගිරිහාගම මෙනවිය, ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී ඇගයීම් කමිටුවට සුදුසුකම්ලත් වෛද්‍යවරුන් පත්කිරීම පැහැර හැර ඇත්තේ ද මෙම සැකකරු විසින් යැයි ද කීවාය.


ඖෂධ නොමැතිකමින් ඉදිරි සති තුනක කාලය තුළ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය කඩා වැටෙන බවට බොරු භීතියක් ඇති කරමින්, ඖෂධ 229ක් සම්බන්ධයෙන් මෙම වංචාවට පාදක වූ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සිදු කර ඇත්තේ ඖෂධ 19ක් හැර සෙසු ඖෂධ සියල්ලම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් ප්‍රමාණවත් ලෙස සෞඛ්‍ය පද්ධතියට සපයමින් සිටි පසුබිමක බව පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය, ජාතික තලයේ හිඟයක් නොමැති අවස්ථාවක මෙම ඖෂධ සපයාගෙන ඇතැයි සඳහන් කළාය.ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ඖෂධ ගැනීමේදී සෞඛ්‍ය අමාත්‍යාංශ වැය ශීර්ෂය භාවිත කරමින් ඖෂධ මිලදී ගැනීමට හැකියාවක් නැතත්, වෛද්‍ය සැපැයුම් අංශයේ වැය ශීර්ෂය භාවිත කරමින් මුදල් ගෙවීමට නිර්දේශ කර ඇත්තේ මෙම සැකකරු විසින් යැයි ද ලක්මිණී ගිරිහාගම මෙනවිය කීවාය.


ව්‍යාජ ඖෂධ හිඟයක් මවාපාමින් ඉදිරි සති 3 තුළ ඖෂධ සැපැයීමක් නොකළහොත්, සෞඛ්‍ය පද්ධතිය කඩාවැටිය හැකි බවට හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල 2022 සැප්තැම්බර් 26 වැනිදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව සකස් කර ඇත්තේ මෙම සැකකරු විසින් බව හෙළි වී ඇතැයි ද, ඒ පිළිබඳ මෙම සැකකරුගෙන් රහස් පොලිස් නිලධාරීන් ප්‍රශ්න කිරීමේදී ‘හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ උපදෙස් පිට අදාළ කැබිනට් පත්‍රිකාව සකස් කළ බව' ඔහු පිළිගෙන ඇතැයි ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙන විය කීවාය.


මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය:-කැබිනට් පත්‍රිකාව සකස් කිරීමට මුල් වූ ලේඛන ඇතුළත් මුල් ගොනුව සම්බන්ධයෙන් සැකකරුගේ ස්ථාවරය කුමක් ද?"


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනව්ය:- “මුල් ගොනුව අමාත්‍යාංශ සම්බන්ධිකරණ කාර්යාලයට යොමු කළා කියලා සැකකරු කියනවා.”


මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය:- “මුල් අමාත්‍යාංශ  කාර්යාලයෙන් සම්බන්ධිකරණ ගොනුව සම්බන්ධයෙන් විමසීමක් කළා ද?"


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය:- “ඔව්. අමාත්‍යාංශ සම්බන්ධිකරණ කාර්යාලයෙන් කියන්නේ අදාළ මුල් ගොනුව තියෙන්නේ මෙම සැකකරු යටතේ තිබූ අංශයේ කියලයි.”


මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය:- කුමන්ත්‍රණයට රාජ්‍ය ආයතනය සහ නිලධාරීන් සම්බන්ධ වීමට පෙර ප්‍රශ්නගත සැපැයුම්කරු ඒ සඳහා සූදානම් කර ඇත්තේ කවුද කියලා හොයලා බැලුවා ද?"


නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනවිය:- “ඔව්. මෙම කුමන්ත්‍රණයේ ප්‍රධාන මොළකරු කවුද යන්න සැපැයුම්කරු පමණක් දැනගෙන ඉන්න ඇති."


මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය:- “මේ දක්වා කළ විමර්ශනවලදී තව මොනවා හරි කරුණු අනාවරණය වුණා ද?


" නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මෙනව්ය:- “ඔව්. දැනට කළ විමර්ශන වලදී අනාවරණය වී ඇති කරුණු අනුව මධ්‍ය ලක්ෂ්‍යයක සිට එක් තැනැත්තකු විසින් තමයි සැකකාර නිලධාරීන් සහ සැපැයුම්කරු සම්බන්ධිකරණය කර ඇත්තේ.”

සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කාංචන රත්වත්තේ මහතා කරුණු දක්වමින්, මෙම සිද්ධියට අදාළව කළ විමර්ශනවලදී තම සේවාදායකයා රහස් පොලිසියට අවශ්‍ය සියලු ආකාරයෙන් සහාය දක්වා ඇතැයි කීය. තම සේවාදායකයා රෝගී තත්වයන්ගෙන් පසුවන්නේ යැයි ද,තම සේවාදායකයා සම්බන්ධයෙන් ඉදිරිපත් කළ සුවිශේෂී කරුණු කෙරෙහි ද සැලකිල්ලට ගෙන ඕනෑම කොන්දේසියක් යටතේ තම සේවාදායකයාට ඇප නියම කරන්නැයි නීතිඥ කාංචන රත්වත්තේ මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.දෙපාර්ශ්වය විසින් දීර්ඝ වශයෙන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව සැකකරුට ඇප නියම කරන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරිය, සැකකරු රිමාන්ඩ් භාරයට පත් කිරීමට නියම කළාය.සැකකරු රිමාන්ඩ් කරන බව ප්‍රකාශ කරනවාත් සමගම විත්ති කූඩුවේ සිට එක වරම අධිකරණය ඇමතූ සැකකාර සමන් රත්නායක නමැත්තා, මෙම අපරාධය පිළිබඳව තමන්ට උසාවියේදී ප්‍රකාශයක් කිරීමට අවශ්‍ය යැයි පැවැසීය.

ඒ අවස්ථාවේදී අධිකරණය ඇමතූ මහේස්ත්‍රාත්වරිය, තමන්ට උසාවිය හමුවේ ප්‍රකාශයක් කිරීමට අවශ්‍ය නම්, අපරාධ නඩු විධාන සංග්‍රහයේ 127 වැනි වගන්තිය යටතේ ඊට අවශ්‍ය නෛතික ප්‍රතිපාදන සලසා දීමට හැකියාව ඇතැයි දැනුම් දුන්නාය. “අපරාධ නඩු විධාන සංග්‍රහයේ 127 වැනි වගන්තිය යටතේ යම් අපරාධයක් පිළිබඳ මහේස්ත්‍රාත්වරයකු හමුවේ පාපෝච්චාරණයක් කිරීමට ඕනෑම සැකකරුවකුට නෛතිකව අවස්ථාව සලසා තියෙනවා. ඔබටත් ඒ අවස්ථාව ඒ අයුරින්ම සලසා දීමට හැකියාව තියෙනවා” යැයි සඳහන් කළ මාලිගාක්නද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය, එම ප්‍රකාශය යම් අවස්ථාවක ඔබට විරුද්ධවම සාක්කියක් වශයෙන් යොදා ගැනීමට හැකියාව ඇති බවත්, එම පාපෝච්චාරණය හේතුවෙන් ඔබ මෙම නඩුවේ සාක්කිකරුවකු වශයෙන් නම් කිරීමට හැකියාව ඇති බවත් පෙන්වා දුන්නාය.

ඒ සම්බන්ධයෙන් ඉතා හොඳින් සිතා බලා පාපෝච්චාරණය කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා ලෙස මහේස්ත්‍රාත්වරිය සැකකරුට දැනුම් දුන් අවස්ථාවේදී, තමන් මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් දීමට සූදානම් යැයි සැකකාර සමන් රත්නායක මහතා යළිත් වරක් පැවැසුවේය.සැකකරු ස්වේච්ඡාවෙන් මම සිද්ධිය සම්බන්ධයෙන් පාපෝච්චාරණය කිරීමට සූදානම් නිසා, සඳුදා දිනයේ (4) එම පාපෝච්චාරණය කිරීමට හැකියාව ඇතැයි ද, කෙසේ නමුත්, ඒ සම්බන්ධයෙන් තවදුරටත් සිතා බලන ලෙස සැකකරුට සඳහන් කළ මහේස්ත්‍රාත්වරිය, මෙම සැකකරු නඩුවේ අනෙත් සැකකරුවන්ගෙන් වෙන් කර වෙනත් බන්ධනාගාරයක රඳවා තැබීමට ද නියම කළාය. සැකකාර සමන් රත්නායක මහතා ලබන 14 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයට පත් කළ මහේස්ත්‍රාත්වරිය, පාපෝච්චාරණය කිරීම සඳහා සැකකරු අද සඳුදා (4) අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර අධිකාරිවරයාට නියම කළාය.

මනෝප්‍රිය ගුණසේකර