sewanagala-factory-incident

සෙවණගල ලංකා සීනි සමාගමේ සභාපතිවරයා රුපියල් කෝටි 120 ක් එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතියකින් තොරව මහා භාණ්ඩාගාරයට දුන් බවට චෝදනා කරමින් එහි සේවකයන් ඔහු පැය හතරකට අධික කාලයක් කාර්යාල අඩස්සියේ තබාගෙන සිටිය දී පොලිස් මෙහෙයුමකින් ඊයේ (5) ඉන් මුදා ගනු ලැබීය.

මේ සිද්ධියෙන් එහි දැඩි නොසන්සුන් තත්ත්වයක් ඇතිවිය. සෙවනගල සීනි සමාගමේ සභාපතිවරයාගේ අත්තනෝමතික තීරණ හේතුවෙන් ආයතනය පාඩු ලබා ඇතැයි චෝදනා කරමින් සේවකයෝ සියලු රාජකාරි කටයුතු වලින් ඉවත් වී සභාපතිවරයාගේ කාර්යාලය මේසේ වැටලුහ.එම අවස්ථාවේ දී එහි ආරක්ෂක නිලධාරින් සේවකයන්ට කාර්යාලයට ඇතුළු වීමට ඉඩ නොදී පොලිසියට දැනුම් දී ඇත.

පසුව එම ස්ථානයට සෙවණගල පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් පැමිණ එහි ආරක්ෂාව තහවුරු කළද සේවකයන්ගේ විරෝධය උස්සන්න වීම හේතුවෙන් තවත් පොලිස් කණ්ඩායමක් එහි කැඳවනු ලැබීය.

එම පොලිස් කණ්ඩායමට ඇඹිලිපිටිය සෙවනගල උඩවලව යන පොලිස් ස්ථානවල නිලධාරීහු පැමිණ සිටියහ.සීනි සමාගම් පරිශ්‍රයට පොලිස් කැරැලි මර්දන නිලධාරින් පවා ආරක්ෂාව සඳහා යොදවා තිබිණි.අනතුරුව සෙවණගල සීනි ආයතනයේ පාලන අධිකාරිය හා එහි වෘත්තීය සමිති නියෝජිතයන් අතර සාකච්ඡාවක් පැවැත්විණි.එහෙත් එම සාකච්ඡා අසාර්ථක වූ බව පිටතට පැමිණි වෘත්තීය සමිති සාමාජිකයෝ පැවැසූහ.



අනතුරුව සභාපතිවරයාට ආරක්ෂාව දෙමින් එම පරිශ්‍රයෙන් පිටතට රැගෙන යාමට උත්සාහ දැරූ අවස්ථාවේ දී සේවකයෝ හූ කියමින් දැඩි විරෝධය දැක්වූහ. කෙසේ වෙතත් සභාපතිවරයා නිල වාහනයට නංවා පොලිස් ආරක්ෂාව මධ්‍යයේ රැගෙන යනු දැකගත හැකිවිණි.විරෝධතාකරුවන් මෙහිදී පැවැසුවේ දක්ෂ නිලධාරීන් ගෙන්වා ආයතනය නැවත ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීමට බලධාරින් පියවර ගත යුතු බවයි.පිටව ගිය සභාපතිවරයා පැමිණියහොත් වැඩ වර්ජනයක් කරන බව ද ඔවුහු කීහ.සභාපති සාරද සමරකෝන් මහතා එම පරිශ්‍රයෙන් පිටවීමට සුළු වේලාවකට පෙර ‛ලංකාදීපය' කරුණු විමසූ අවස්ථාවේ දී ඔහු පැවැසුවේ තමාට කීමට කිසිවක් නැති බවයි.

රෝහණ සමරවීර