sobhitha-thera-gotabaya

ජනාධිපතිධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය' පොතේ වසංකළ කරුණු ද එක් කර සමාව අයැදීම සහ පාපොච්චාරණය' නමින් පොතක් ලිව්වත් ඔබ මේ රටට, රටේ ආර්ථිකයට, ජන ජිවිතයට, පැවැත්මට කළ විනාශයට ජනතාව කිසිදා සමාව දෙනු ඇතැයි සිතිය නොහැකි යැයි ඕමල්පේ සෝභිත නාහිමියෝ ඊයේ (12දා) ඇඹිලිපිටියේ පැවති මාධ්‍ය හමුවකදි පැවසුවේය.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් ලියා ප්‍රකාශයට පත්කරන ලද ජනාධිපතිධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය’ පොත සම්බන්ධයෙන් අදහස් දැක්වීමට මෙම මාධ්‍ය හමුව කැඳවා තිබුණි.එහිදි අදහස් පළකළ ඕමල්පේ සෝභිත හිමියෝ:

"ගෝඨාභය රාජපක්‍ෂ හිටපු ජනාධිපතිතුමා පොතක් ලිවීමත් එක්ක එතුමාට උපදෙස් ගන්න අවස්ථාවක් උදා වෙනවා. එහි 97 සහ 98 පිටුවල මා සම්බන්‍ධයෙන් ද සඳහන් වෙනවා.ඒ නිසා යම් අදහසක් පළ කළ යුතුයි කියලා මා විශ්වාස කළා.ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයාමනේ තමන් යන්න කලින් රනිල් වික්‍රමසිංහ මහත්තයා ඒ අදාළ පදව්වලට පත්කරන්නේ. ඒ වගේම අරගලය හරහා රටේ ක්‍රියාකාරීත්වයට එරෙහි යම් දෙයක් සිදු වුණා නම් ඒක බරපතළ අපරාධයක් නේ. ඉතිං ඒකට පොත් ලියලියා හූල්ල හූල්ල ඉන්න ඕනෑ නෑ නොවැ. තමා විසින් ම පත්කරන ලද තම සහචරයන් විසින් පිරිවරන ලද වත්මන් විධායක ජනාධිපතිවරයාට පුළුවන්නේ කොමිසමක් පත් කරන්න. එහෙම පත්කරලා ප්‍රඡාතන්ත්‍රවාදීව තේරුණු

මේ රටේ නායකයා පිටමංකරන්න කරපු දේ ගැන තීරණයකට එන්න වත්මන් ජනාධිපතිවරයාට එක තීරණයකින් පුළුවන්නේ.

තමන් ගැන අත්යන්ත බලාපොරොත්තු තියාගත් පිරිස ඉදිරියේ තමන්ට මෙවැන්නකට මුහුණ දෙන්න වුණා නම් ඒ කුමන්ත්‍රණයේ නිර්මාපකයාත් ගෝඨාභය මහත්තයාමයි. රටේ කිසිම තැනකට වද්දගන්න එපා කියලු චෞර නිලධාරියෙක් රටේ ඉහළම නිලයකට පත් කරගත්තා මතකද? සිංහල බෞද්ධයන්ට සහන සලස්වනවා කියපු ගෝඨාභය මහත්තයා තෙල්,සීනි, සුදුලූනු වංචාව මගින් සහන සැලැස්සුවේ සිංහල බෞද්ධයන්ට ද ?අරගලයට බෞද්ධ භික්‍ෂූන් එකතුවීමත් එක්ක සිංහල බෞද්ධ මුහුණුවරක් ඊට එක්වුණා. වගකිවයුතු භික්‍ෂූන් වහන්සේ නමක් හැටියට ඕමල්පේ සෝභිත හිමියන් පමණයි අරගලයට සහභාගිවුණේ කියලා මේ පොතේ තියනවා. ඇත්තෙන්ම නැහැ. අරගලකරුවන්ගේ හඬ අහන්න ඒ අයට ආශිර්වාද කරන්න මහාචාර්ය අගලකඩ සිරිසුමන ස්වාමීන් වහන්සේ, ගෞරවනීය කිරිඳිවැල කවිධජ ස්වාමීන් වහන්සේ, රජවත්තේ වප්ප නායක ස්වාමීන් වහන්සෙ වැනි සංඝ පිතෘන්  වහනසේලා සිය ගණනක් සහභාගි වුණා.



එපමණක් නොව අරගලයේ හඬට අතිපුජ්‍ය මහානායක ස්වාමින් වහන්සේලා පවා සවන්දුන්නා. ඒ නිසා තමයි ගෝඨාභය මහත්තයාට උපදෙස් දුන්නේ වහාම අග්‍රාමාත්‍යවරයා ඉවත්කරලා අන්තර්වාර පාලනයකට යන්න කියලා. ඒවා මතක නැද්ද? මේ පොතට ඒවත් ඇතුළු වෙන්න අවශ්‍යයි. ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයාට රටින් යන්න අවශ්‍ය වුණ වෙලාවේ ජීවිත බයක් ආවා. ඒ වෙලාවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පිටත්වීමේ පර්යන්තයේ පහසුකම් සැලැස්සුවේ මම, ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයා දන්නවා. සුගීශ්වර බණ්ඩාර මහත්තයා ඇතුළු ආසන්නම කාර්යමණ්ඩලය ඒ තොරතුරු දන්නවා. අපි විරුද්ධ වුණේ ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයාට නෙවෙයි. ඒ පැවතුණ ක්‍රමයට විරුද්ධවයි අපි ක්‍රියාත්මක වුණේ.

මේ වගේ පොත්ගහලා වෙච්ච දේ යටපත් කරන්න ගන්න ක්‍රියාදාමයට මම විරුද්ධයි. සිංහල බෞද්ධකම නැවතත් උඩට ගන්න තමයි මේ මැතිවරණ යුගය හමුවේ සිද්ධකරන්න හදන්නේ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. සිංහල බෞද්ධ වීරයෙක් බිහිකර ගැනීමේ වැඩපිළිවෙළයි මේ පොතෙන් ආරම්භ කරලා තියෙන්නේ.සමාව අයැදීම සහ පාපොච්චාරණය නමින් පොතක් ලියන්න. ඔබතුමන් විධායක ජනාධිපතිධුරය නැමති අතිඋත්තම,

අතිඋදාරතර මහා බලගතු නිලය බලයෙන් කළයුතු උදාර මෙහෙය නොකර හොරුන්ට, වංචනිකයන්ට, දාමරිකයන්ට ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ වංචකාරයන්ට රට පාවාදීම, රට කොල්ලකෑමට ඉඩසැලැස්වීමේ මහා පාපය ඔබ තුමා බාරගන්න”

අජිත්ලාල් ශාන්තඋදය සහ කොලොන්නේ ජේ. නානායක්කාර