sumanthiran-online-act

ඔන්ලයින් පනත ක්‍රියාත්මක කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා ගොනු කර තිබූ පෙත්සම විභාගයට ගැනීම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කළේය.මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රියන්ත ජයවර්ධන, ශිරාන් ගුණරත්න සහ අචල වෙන්ගප්පුලි යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් මඩුල්ලක් හමුවේ සලකා බැලිණි.පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් මහතා ගොනුකර ඇති මෙම පෙත්සමෙහි වගඋත්තරකරු හැටියට නීතිපතිවරයා නම් කරනු ලැබ සිටි.

ඔන්ලයින් පනත් කෙටුම්පත සම්මත කිරීමේ දී

විශේෂ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවකගෙන් සම්මත කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියමකර තිබිය දී ඊට පටහැනිව සරල බහුතරයකින් සම්මත කිරීමෙන් මූලික අයිතිවාසිකම් කඩවන ලදැයි සඳහන් කරමින් එම පනත ක්‍රියාත්මක වීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා විසින් මෙම පෙත්සම ගොනු කරනු ලැබීය.මෙම පෙත්සම විභාගයට ගනු ලැබූ අවස්ථාවේ දී නීතිපතිවරයා මූලික විරෝධතා ඉදිරිපත් කරමින් මෙය පාර්ලිමේන්තුවට අදාළ කරුණක් බැවින් ඊට ශ්‍රේෂ්ඨාධිකරණයට මැදිහත්වීමට බලයක් නොමැති බවද මෙහිදී මූලික අයිතිවාසිකම් කඩවීමක් සිදුවී නොමැති බවද සඳහන් කර ඇතැයි තීන්දුවේ සඳහන් වේ.



ඊට පිළිතුරු දෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා කියා සිටියේ පනත් කෙටුම්පතට පාර්ලිමේන්තු සැසිවාරය අවසානයේ දී කථානායකවරයා අත්සන් කර ඇති බැවින් මූලික අයිතිවාසිකම් කඩවීමක් සිදුවන බවත් ඒ අනුව මෙම පෙත්සම විභාගයට අවසර ලබාදෙන ලෙස ඉල්ලා සිටි බවත් තීන්දුවේ සඳහන් වන බවය.දෙපාර්ශවයේ ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගැනීමේ දී නීතිපතිවරයාගේ මුල් විරෝධතාව පිළිගන්නා බව ද තීන්දුවේ සඳහන්ය.පාර්ලිමේන්තු වරප්‍රසාද පනත යටතේ පාර්ලිමේන්තු තීන්දු තීරණවලට මැදිහත්වීමට බලයක් නොමැති බව ද ව්‍යවස්ථාවේ 70 වැනි වගන්තිය අනුව කථානායකවරයා පනතක් අත්සන් කළ පසු ඊට මැදිහත්වීමට අධිකරණයට බලයක් නොමැති බවද තීන්දුවේ සඳහන්ය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 සහ 4 වගන්ති අනුව පාර්ලිමේන්තුව උත්තරීතර බවත් ඊට ජනතා පරමාධිපත්‍ය,

ස්වෛරීභාවය අඩංගුවන බැවින් එහි තීන්දු තීරණ වලට මැදිහත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණයට කිසිදු බලයක් නොමැති බව ද තීන්දුවේ සඳහන්ය. හිටපු අගවිනිසුරු එස්. සරුවානන්ද මහතා ප්‍රමුඛ විනිසුරු මඩුල්ලක් මගින් ලබා දී ඇති පූර්වාදර්ශ නඩුවෙන් මේ බව පැහැදිලි වන බව ද තීන්දුවේ සඳහන් වේ.ඒ අනුව පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කරන බවද තීන්දුවේ වැඩිදුරටත් සඳහන්ය.පෙත්සම්කාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වෙනුවෙන් ජනාධිපති නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා පෙනී සිටියේය. නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතා පෙනී සිටියේය.
රන්ජන් කටුගම්පොල