three-wheeler-bus-race-dehiwla

දෙහිවල තරුණ බෞද්ධ සංගමය අසල ඊයේ (29) බස්රථ දෙකකට මැදීවී සිදුවූ අනතුරකින් ත්‍රිරෝද රථයේ රියැදුරු එම ස්ථානයේදීම මියගොස් ඇතැයි දෙහිවල පොලීසිය පැවැසීය.

මෙලෙස මියගොස් ඇත්තේ ගල්කිස්ස, ටෙම්පල් පාර පලවන හරස් පටුමග පදිංචිව සිටි ත්‍රිරෝද රථ රියැදුරකු වන දෙහිවලගේ ඇන්ටන් ක්‍රිශාන්ත නම් (56) හැවිරිදි විවාහකයෙකි.



අනතුර ඊයේ (29) දින පෙ.ව.7.35 ට පමණ සිදු වී තිබුණු අතර ගල්කිස්ස දෙස සිට කොළඹ බලා ධාවනය වූ මාර්ග අංක 101 හා 155 දරන බස්රථ දෙකක් මෙලෙස අනතුරට පත්ව ඇති බවත් පොලීසිය කියයි.

මෙම බස් රථ දෙක ගල්කිස්ස දෙස සිට මාර්ගයේ තරගයට ධාවනය කරමින් රණ්ඩු වෙමින් පැමිණ ඇති අතර, දෙහිවල මංසන්ධියේ ප්‍රධාන වීථි සංඥා පුවරුව පසුකර බිම් මාර්ගයෙන් කොළඹ දෙසට ධාවනය කරමින් එකිනෙක ඉස්සර කිරීමට උත්සාහ කළ අවස්ථාවේ එම මාර්ගයේම පැමිණි ත්‍රිරෝද රථය ඉදිරියෙන් ගමන් කළ බස් රථයට දකුණු පසින් ගමන් කර තිබේ.



එම අවස්ථාවේදී ත්‍රිරෝද රථයද බස් රථ දෙකට මැදිවීමෙන් රියැදුරු බරපතළ තුවාල ලබා රථය තුළම මිය ගොස් සිටියදී දෙහිවල පොලිස් රථවාහන අංශය ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඒ.එම්. ලලිත් මහතා ඇතුළු නිලධාරීන් වහාම ත්‍රිරෝද රථයක සිටි පිරිස බස්සවා කඩිනමින් දකුණු කොළඹ ශික්ෂණ රෝහල වෙත පිටත් කරනු ලැබූවත් ඒ වනවිටත් රියැදුරා මිය ගොස් ඇතැයිද පොලීසිය කියයි.

මෙම ත්‍රිරෝද රථ රියැදුරු තම බිරිඳ සමග පැමිණ බස් නැවතුමෙන් බස්සවා ඉදිරියට මීටර් කිපයක් ගියපසු මෙම අනතුර සිදු වී ඇති බැවින් ඇයගේ ජීවිතය බේරී ඇති බවත් පොලීසිය කියයි.



මෙම සිදුවීමට අදාළ කොළඹ- මොරටුව බස් රථයේ රියැදුරු පොලිස් අත්අඩංගුවට ගනු ලැබ ඇතැයි ද පොලිසිය පැවැසීය.

දෙහිවල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුරාධ හේරත් මහතාගේ අධීක්ෂණය යටතේ පොලිස් රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඒ.එම්. ලලිත්. පොලිස් කොස්තාපල්වරුන් වන 82495රසික, 99120 බණ්ඩාර යන නිලධාරිහු වැඩිදුර පරීක්ෂණ සිදු කරති.

දෙහිවල එච්.එම්. ධර්මපාල