vijitha-herath-speaks

රට නරුම තැනකට පත්ව ඇත්තේ ජාතික සම්පත් ගැන කිසිම හැඟීමක් නැති රටට ආදරයක් නැති පාලකයන් නිසා බවත්, සිදුව ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියන අන්දමට කටයුතු කරමින් ජාතික සම්පත් විකුණා දැමීම බවත් ජාතික ජනබල වේගය පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ගම්පහදී පැවසීය.

" නව විදුලිබල පනතින් රට අනතුරේ , විකුණන්න ඉඩ නොදෙමු. රැකගන්න පෙළ ගැසෙමු " යන මැයෙන් ගම්පහ පැවති සම්මන්ත්‍රණයේදී මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළ අතර තවදුරටත් අදහස් දක්වමින් මෙසේද කීය.

'විදුලිබල මණ්ඩලය පමණක් නොව ආයතන පනස් දෙකක් විකුණා දැමීමට පියවර ගනිමින් සිටිනවා. මින් ආයතන ගණනාවක්ම පාඩු ලබන තත්ත්වයට පත් කළා. බංකොලොත් කළා. කවුද කළේ. මේ ආයතනවලට දේශපාලන පත්වීම්දී පුරවා , අන්තිමට කියනව සේවකයන් වැඩියි.

පඩි ගෙවන්න බැහැ කියල. ශ්‍රී ලංකන් ආයතනයත් පාඩුයි කියා විකුණනන්න යනව. මේ ආයතනය පාඩු ලැබීමට වගකියන්න ඕන සේවකයන්ද ? ඇත්තටම ශ්‍රී ලංකන් පාඩු ලැබීමට හේතුව සේවකයින්ද ? නැහැ. අට පාස් මස්සිනා දාල මේක බංකොලොත් කරල නැති බංගස්තාන කළා. කෝටි 2500 ක් පමණ ඒකාලෙදි අවුරුද්දකට පාඩුයි.

විදුලි බල මණ්ඩලයත් පාඩු ලබන්න හේතු රාශියක් තිබෙනව. සේවකයන්ගෙ වරදින් නෙවෙයි. කෝටි දෙසීයක හිඟ විදුලි බිල් කපාහැර තිබෙනව.මේවා අය නොකර අද වනවිට බිල් ගෙවා ගත නොහැකි විදුලි පාරිභෝගිකයන් ලක්ෂ දහයකගේ පමණ විදුලිය විසන්ධි කර තිබෙනව. පන්සල්වලත් ලයිට් කැපුව. කිසිම හිතක් පපුවක් නැතිව. ආයතන ලාභ ලබන අන්දමින් පවත්වාගෙන යන අන්දම අපි පෙන්වාදී තිබෙනව. අපි මිල්කෝ ආයතනයත් අවුරුද්දක් කරල ලාභ ලබල පෙන්නුව.

මේ නරුම තැනට ඇවිත් තියෙන්නේ රටට ආදරයක් නොමැති කමයි. ජාතික සම්පත් ගැන කිසිම හැඟීමක් නැති පාලකයන් නිසයි.

ඇත්තටම සිදුව ඇත්තේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කියන විදියට කටයුතු කරමින් අපේ ජාතික සම්පත් මුලුමනින්ම විකුණා දැමීමක්. ජනතාව 2019 ගෝඨාභය රාජපක්ෂට ඡන්දය දුන්නෙ මේ සඳහා නොවෙයි. ගෝඨාභයට ඡන්දය දුන්නෙ මොකටද ? ජාතික ආරක්ෂාව සහ ජාතික සම්පත් ගැන හිතල. මහින්ද රාජපක්ෂ කිව්වේ, මිලදී ගන්න එපා. ගන්න අය පරිස්සම් වෙන්න. අපි ආවට පස්සෙ සියල්ලම ආපසු ගන්නව. ඒ නිසා ගන්න එපයි කිව්ව. එහෙම කියපු රාජපක්ෂලා, ඒ වෙනුවෙන් ඡන්දය දීපු ජනතාවගේ මතය පාවා දෙමින් තමයි මේ දේ සිද්ධ වෙන්නෙ. ඒ ජන මතයට පටහැනි, ජනමතයට මුළුමනින්ම එරෙහි ක්‍රියාවක් තමයි මේ සිද්ධ වෙන්නෙ.”



ගම්පහ -තිලකරත්න දිසානායක